MINISTRY OF HEALTH

Sri Lanka

 

චීන ආධාර යටතේ ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය නිරීක්ෂණය කළ චීන නියෝජිතයින් සුව ඇමතිනිය හමුවෙයි 2020-01-16


චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහලේ ඉදිකිරිම් මෙම වසරේ ජුලි මස අවසන් කරන බව නියෝජිත පිරිස පවසයි.  

චීන ආධාර යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාලව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල අධීක්ෂණය හා ප්‍රගතිය සොයාබැලිම සදහා චින රජයේ නියෝජිත කණ්ඩායමක් පසුගියදා මෙරටට පැමිණි අතර ඔවුන් මෙම මස 10 සිට 14 දින දක්වා එම ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බලන ලදි.  මෙම ව්‍යාපෘති අධීක්ෂණ වලින් පසු එම නියෝජිත පිරිස පසුගියදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසී ඔවුන් විසින්  අධීක්ෂණය කළ හා ප්‍රගතිය සොයා බැලූ ව්‍යාපෘතිවල තොරතුරු සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත දැනුම් දෙන ලදි

චීන ආධාර ව්‍යාපෘති යටතේ රාගම ශික්ෂණ රෝහල සදහා වෛද්‍ය උපකරණ හා වෛද්‍ය ශිෂ්‍යයින් සදහා අවශ්‍යවන උපකරණ මීට ඉහත දී ලබාදුන් අතර, රාගම රෝහල සදහා MRI ස්කැනර් යන්ත්‍රයක් ද ලබා දී ඇත. මේ වන විට කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල සහ පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහල් ගොඩනැගිල්ල ඉදිකෙරෙමින් පවතින අතර, මෙම මස වකුගඩු රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා ජංගම ගිලන් රථ 08 ක් ද ලබාදීමට නියමිතය.

ඩනැගිල්ල සහ රුපියල් බිලියන 12 ක වියදමින් ඉදිවන පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහල හා ක්‍රියාත්මක වන අනෙකුත් සංවර්ධන ව්‍යාපෘතිවල අධීක්ෂණය හා ප්‍රගතිය සොයාබැලිම සිදු කරන ලද අතර, පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් කටයුතු  සාර්ථකව සිදුවන බවත්, මෙම වසරේ ජුලි මස ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකිවන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත දැනුම් දෙන ලදි. එමෙන්ම ක්‍රියාත්මක වන අනෙක් ව්‍යපෘති ද සාර්ථකව සිදු කරන බවත්, අදාල දිනයන් තුල එම ව්‍යාපෘති අවසන් කොට රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය. චීන රජය විසින් අප රට තුල ක්‍රියාත්මක කරන ඉහත ව්‍යාපෘති අධීක්ෂණය සදහා පියවර ගැනීම  පිළිබදව චීන රජයට සිය ප්‍රසාදය පළ කරන බව සෞඛ්‍ය අමාත්‍ය තුමිය මෙහිදී නියෝජිත පිරිසට ප්‍රකාශ කරන ලදි.

චින රජයේ නියෝජිතවරුන් පිරිස නියෝජනය කරමින් චීන ජාත්‍යන්තර සංවර්ධන සංවිධාන කාර්යාංශයේ උප සභාපති Mr. Zhang Maoyu, චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක Mr. Yang Zuoyuan, චීන අන්තර්ජාතික සංවර්ධන සහයෝගිතා කාර්යාංශයේ Mr. Cai Fangcai, එහි අංශ අධ්‍යක්ෂක අධීක්ෂක Mr. Sun Xinliang, ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතා කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Zeng Huacheng යන මහත්වරු ඇතුලු 11 දෙනෛකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගිව සිටියහ.

මෙහිදී චින රජයේ නියෝජිත පිරිස විසින් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සංවර්ධන) කේ.පී යෝගචන්ද්‍ර මහතා, අධ්‍යක්ෂ (ගොඩනැගිලි) එච්.එම්.සී.අයි හේරත් මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ එම්.කේ සම්පත් ඉන්දික කුමාර මහතා, ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ අධ්‍යක්ෂ එස්.ඒ.ඡේ කරුණාතිලක මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක්  ද එක්ව සිටියහ

විරාජ් අබේසිංහ
(මාධ්‍ය ලේකම්)
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය