MINISTRY OF HEALTH

Sri Lanka

 

Hon. (Mrs.) Pavithra Wanniarachchi assumed duties as the Minister of Health, Nutrition and Indigenous Medicine 2019-11-22

 
නව සෞඛ්‍ය, පෝෂණ  හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමිය රාජකාරි අරඹයි.
 
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (22) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී සිදු කෙරිනි. එහිදී කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය දිවුරුම් දෙන ලදි.
 
එතුමිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැඩ බාරගැනිම ද අද (22) දින පස්වරුවේ යෙදුන සුභ මොහොතින් සිදු කරන ලදි.
 
වැඩබාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - මම මීට අවුරුදු 25 කට කළින් මෙම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙසින් මේ රටේ ජනතාවට සෑහීමකට පත්විය හැකි අයුරින් ගුණාත්මක සේවාවක් ලබාදීමට කටයුතු කළා. ඒ නිසා මෙය මට බොහොම හුරුපුරුදු පරිසරයක් සහ හුරුපුරුදු වැඩ කොටසක්. මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගන්වන්න විශේෂයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ රජය බලාපොරොත්තු වන මේ රටේ ජනතාව බලාපොරොත්තු වන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එම ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් ඉෂ්ඨ කිරීමට අපි කටයුතු කරනවා. එම වගකීම අපි අද ඉදලා බාරගත්තා.ඒ සදහා එක පවුලක මිනිසුන් වගේ අපි ඒසදහා කැපවිය යුතුයි. ඒම කටයුත්තේ දී මේ රටේ ජනතාවට රෝග නිවාරණ හා රෝග ප්‍රතිකාර අංශයෙන්  ඇතුලු හැම අංශයකින්ම  හොද සෞඛ්‍ය සේවාවක් ලබාදෙන්න සියලු දෙනා එකාවන්ව කැපවෙමු.
 
මේ රටේ ජනතාව පුහු ආටෝප වැඩවලට කිසිසේත්ම කැමැති නැහැ. අපි පයින් ඇවිදගෙන යනකොට අපි හිතනවා කවුරුත් දකින්නේ නැහැ කියලා. හැබැයි වැලිකැට දහස් ගණනක් අපි ඇවිදගෙන යනකොට අපි දිහා බලාගෙන ඉන්නවා. මේ රටේ මිනිස්සු අපි කරන කියන හැම දෙයක්ම හොද අවබෝධයකින් හොදට බුද්ධිමත්ව බලාගෙන ඉන්නවා. එම නිසා ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය බොහොම සරලව ජනතාවාදීව තමන්ට උපරිම ප්‍රමාණයෙන් අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ජනතාව බලාපොරොත්තු වුණ තැනට මේ රට ගෙනියන්න කටයුතු කරනවා. මාව සුහදව පිළිගැනීම සම්බන්ධයෙන් සියලු දෙනාටම හෘදයාංගම ස්තූතිය පුද කරනවා
 
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපත ලබන්නේ රත්නපුර දිස්ත්‍රිකයේ හිටපු දේශපාලකයකු වන ධර්මදාස වන්නිආරච්චිගේ වැඩිමහල් දියණිය වශයෙනි. ධර්මදාස වන්නිආරච්චි 1965 වර්ෂයේ සිට 1977 වර්ෂය දක්වා පැල්මඩුල්ල ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර කර්මාන්ත හා විද්‍යා කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදී. පසු කාලීනව එතුමාට වයඹ පළාත් ආණ්ඩුකාරධූරය හිමි විය.
 
සිය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර අනතුරුව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරීය. ඇය නීති අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා 1985 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හදාරා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් ලෙස දිවුරුම් දුන්නේය.
 
සිරිමාවෝ බ‍ණ්ඩාරනායක මහත්මියගේ ආරාධනයෙන් ක්‍රි.ව. 1990 දී දේශපාලන දිවියට පිවිසුණ ඇය ක්‍රි.ව. 1993 දී සබරගමුව පළාත් සභාවට ද, අනතුරුව 1994 දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේනතුවට ද තේරී පත්විය.
 
දීර්ඝ දේශපාලන ගමනකට පිවිසෙන ඇය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධ තනතුරු දැරීය. එතුමිය 2000 වර්ෂයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානම කොටසක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්වරිය ලෙසත්, එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංගමයේ උපසභාපතිවරිය ලෙසත් පත්විය. 2008 වර්ෂයේ දී පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ මන්ත්‍රී සංගමයේ සභාපතිධුරය සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙස කටයුතු කළේය.
 
2013 වර්ෂයේ ජනවාරි මසදී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරිය ලෙස වැඩ බාරගන්නා එතුමිය ඒ වන තෙක් තාක්ෂණික හා පර්යේෂණ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙස 2010 වර්ෂයේ නොවැම්බර් මස සිට කටයුතු කරන ලදී. 2010 වර්ෂයේදී සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරිය ලෙසත් 2008 වර්ෂයේදී තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙසත් 2004 වර්ෂයේදී සමෘද්ධි හා දිළිඳුකම පිටු දැකීමේ අමාත්‍යවරිය ලෙසත් 2000 වර්ෂයේදී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරිය ලෙසත් කටයුතු කළේය. එමෙන්ම එතුමිය 1994 වර්ෂයේදී සෞඛ්‍ය, මහාමාර්ග, සමාජසේවා සහ සුභසාධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙසත් කටයුතු කරන ලදී.
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය, සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ඇතුලු අමාත්‍යාංශ නිලධාරින්, කාර්ය මණ්ඩලය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
 
නිහාල් කිරිඇල්ලගේ
අධ්‍යක්ෂ (මාධ්‍ය)
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය