MINISTRY OF HEALTH

Sri Lanka

 

World Sight Day 2019 2019-10-11

ප්‍රධාන කර්තෘ පුවත්පත්,

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ - රූපවාහිනී / ගුවන්විදුලි

සංස්කාරක වෙබ් පුවත්,

 

අඩුආදායම්ලාභීන් සදහා උපැස් යුවල නොමිලේ ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් යළි ඇඹෙයි.

 

ලෝක දෘෂ්ථි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ පා ගමන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවැත්විනි. ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා විෂන් 2020 වැඩසටහන මේ සදහා පූර්ණ දායකත්වය ලබාදෙනු ලැබීය.

 

 කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් පෙරවරුවේ ආරම්භ වූ මෙම ජනතාව දැනුවත් කිරීමේ පා ගමන වී.එෆ්.ආර්. සේනානායක මාවත ඔස්සේ ලිප්ටන් වටරවුම හරහා ජාතික අක්ෂි රෝහල වෙත ලඟා විය.

 

ජාතික අක්ෂි රෝහලේ උපැස් යුවල සැකසීමේ මධ්‍යස්ථානය මෙතෙක් අක්‍රීය තත්ත්වයේ පැවැති අතර, සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්විම මත එම වැඩපිළිවෙල යළි ආරම්භ කරන ලදි. එමගින් අඩු ආදායම්ලාභී අක්ෂි රෝගීන් සදහා උපැස් යුවල අද දින සිට නොමිලේ ලබාදීමට නියමිතය. එහිදී  සංකේතාත්මක වශයෙන් උපැස් යුවල ප්‍රදානය කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින්  සිදු කළ අතර, මාසිකව දෘෂ්‍ය ආබාධ සහිත අඩු ආදායම්ලාභීන් සදහා උපැස් යුවල 1000 ක් පමණ ලබාදීමට නියමිතය. ඒ සදහා විෂන් 2020 වැඩසටහන සහ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දායකත්වය ලබා දී ඇත. තව ද අද දින අක්ෂි රෝහලේ පැවැති ඇසේ සුද හදුනා ගැනීමේ විශේෂ අක්ෂි සායනය ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක් විය. මෙම අක්ෂි සායනයේ දී හදුනා ගනු ලබන රෝගීන් සදහා ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම නොවැම්බර් මස 24 දින සිදු කිරිමට නියමිතය.

 

අක්ෂි කාච නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් අභීත තීන්දුව හේතුවෙන් රෝහල්වල පැවැති පොරොත්තු ලේඛණ ඉවත් කරමින් මෙම වැඩ පිළිවෙල ඉතා සාර්ථක අන්දමින් අද වනවිට ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව නොමිලේ අක්ෂි කාච ලක්ෂයක් දැමීම වෙනුවෙන් එතුමාට උපහාර පිරිනැමීම වෙනුවෙන් උත්සවයක් ද ජාතික අක්ෂි රෝහල සංවිධානය කොට තිබුනි. තවද අක්ෂි රෝගීන්ට නොමිලේ ලබාදෙන මෙම අක්ෂි කාච ඇමරිකාවෙන් ආනයනය කරන ලද ගුණාත්මකභාවයෙන් ඉහළම අක්ෂි කාච වීම ද විශේෂත්වයකි.

 

එම අවස්ථාව සදහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එල්.එල්.යු. සී. කුමරතිලක මහත්මිය, ජාතික අක්ෂි රෝහලේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

  

 

නිහාල් කිරිඇල්ල

අධ්‍යක්ෂ මාධ්‍ය,

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය