MINISTRY OF HEALTH

Sri Lanka

 

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට එන්ඩොස්කොපි යන්ත්‍ර 20 ක් සුව ඇමති අතින් රෝහල් පද්ධතියට 2019-08-10

 

මධ්‍යම රජයේ සහ පළාත් සභා රෝහල් 20 ක් ස‍දහා අඩුව පැවති එන්ඩොස්කොපි යන්ත්‍ර 20 ක් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (06.08.2019) ලබාදීම සිදු විය. ඒ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයේ ශ්‍රවණාගාරයේදී යි.

 

මෙහිදී කුරුණෑගල හා මඩකලපුව ශික්ෂණ රෝහල්, මොණරාගල, ත්‍රිකුණාමලය, කළුතර, ගල්ගමුව හා මීගමුව මහරෝහල් මෙන්ම ගම්පහ, පුත්තලම, නිකවැරටිය, කරවනැල්ල, දඹදෙණිය, පේදුරුතුඩුව, මාතලේ, වවුනියාව, හොරණ, කුලියාපිටිය, වතුපිටිවල හා අවිස්සාවේල්ල යන රෝහල් 20 සදහා මෙම එන්ඩොස්කොපි යන්ත්‍ර ලබා දීමට නියමිතයි. මේ සදහා රුපියල් මිලියන 200 ක පිරිවැයක් දැරුනු බවයි ජීව විද්‍යා ඉංජිනේරු සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.ඒ.ජේ කරුණාතිලක මහතා පැවසුවේ

 

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේ දිනකට හදවත් සැත්කම් 45 ක් මෙරට රෝහල්වල සිදුකරන බවයි. මෙම අධිතාක්ෂණික වෛද්‍ය උපකරණ රෝහල් වෙත පරිත්‍යාග කිරීමෙන් දිනකට සිදුකරන හදවත් සැත්කම් ප්‍රමාණය වැඩි කිරීම තම අරමුණ බව එතුමා සදහන් කලා. එමනිසා හදවත් රෝගීන්ට ප්‍රමාදයකින් තොරව ප්‍රතිකාර ලබාගැනීමට හැකිවනු ඇත.

 

දැනට ඉතිහාසයේ රුපියල් මිලියන 200 ක් වටිනා එන්ඩොස්කොපි යන්ත්‍ර 20 ක් රෝහල් ජාලය වෙත මුදා හැරුණු මුල්ම අවස්ථාව මෙය බවයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසුවේ. මේ වසර තුළ එන්ඩොස්කොපි යන්ත්‍ර 47 ක් දීපව්‍යාප්ත රෝහල් පද්ධතිය වෙත ලබාදීම තම අරමුණ බවත් මේ ඉන් පළමු යන්ත්‍ර 20 බවත් අමාත්‍යවරයා සදහන් කලා.

 

අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ලොව දියුණුතම වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණය ලංකාවේ රෝහල් වල වර්තමානයේ ක්‍රියාත්මක වන බවයි. පසුගිය තෙවසරක කාලය තුළ රුපියල් බිලියන 450 ක ට ආසන්න මුදලක් නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් ආයෝජනය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියා.

 

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය අංශය හා සම්බන්ධ වෙමින් ප්‍රතිකාර සදහා මුදල් අපේක්ෂා කරන රෝගීන්ට මූල්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

 

අමාත්‍යවරයා මෙම උත්සවයට සහභාගී වීමට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ප්‍රංශ තානාපතිවරයා මුණ ගැසුනා. ලෝකයේ හොදම සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවට හිමි බව එහිදී තානාපතිවරයා තමාට ප්‍රශංසාත්මකව පැවසූ බවද අමාත්‍යවරයා මෙම සභාවට ප්‍රකාශකර සිටියා.

 

මෙම අවස්ථාවට එක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කලේ පසුගිය තෙවසරක කාලය තුළ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ සුවිසල් සංවර්ධනයක් සිදුවූ බවයි. රටේ ජනතාවට සරිලන භෞතික සම්පත් සහ සියලු පහසුකම් වලින් සමන්විත රෝහල් පද්ධතියක් නිර්hමාණය වෙමින් පවතින බව ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

 

ප්‍රධාන පෙලේ රෝහල් වලට සහ ප්‍රාදේශීය මට්ටමේ රෝහල් වලටත් සමාන භෞතික සම්පත් ලබාදීමේ ක්‍රමවේදයක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ. එය මෙරට සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ ඓතිහාසික ජයග්‍රහණයක් බවද එතුමා ප්‍රකාශ කලා.

 

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.එ්.ජේ. කරුණාතිලක මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වුනා. අදාල පරිත්‍යාගයන් බාරගැනීම සදහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අදාල රෝහල් අධ්‍යක්ෂවරුන් ද පැමිණ සිටියා.

 

එම්.අයි.ජේ. විජේනායක

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍යතුමාගේ

මාධ්‍ය  ලේකම්