MINISTRY OF HEALTH

Sri Lanka

 

Opening of New District General Hospital Nuwara Eliya 2019-07-18


නෙදර්ලන්තයේ සහන ණය ආධාර යටතේ යූරෝ මිලියන 40 ක් වැය කරමින් නුවරඑළියේ ඉදිකරන ලද නව මහ රෝහල විවෘත කිරීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් නව මහ රෝහල විවෘත විය.


ඇදන් 422 කින් යුක්ත මෙම නව මහ රෝහලේ නවීන වෛද්‍ය උපකරණ සවිකර ඇත. ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක බාහිර රෝගී සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍යවරුන්, හෙද හෙදියන් සදහා නව නිල නිවාස ද ඇතුලත් වෙයි. නුවරඑළිය නව රෝහල ඉදිකිරීමෙන් පසු පැවැති ඇතැම් ගැටලු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත විසදීමෙන් පසු නව රෝහල විවෘත කිරීමට තීරණය විය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “නුවරඑළිය මහ රෝහල ඉදිකිරීම සදහා මුල්ගල තබා ඇත්තේ 2013 වසරේ දී. හම්බන්තොට සහ නුවරඑළිය මහ රෝහල් ඉදිකිරීමට ආධාර ලබාදුන්නේ නොදර්ලන්තයයි. මෙම රෝහල ඉදිකළත් විවෘත කිරීමට දීර්ඝ කාලයක් ගත වුනේ ගැටලු රැසක් පැවැති නිසයි. හම්බන්තොට මහ රෝහල විවෘත කිරීම ප්‍රමාද වීම පිළිබදව හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් රෝහල විවෘත කිරීමේ උත්සවයේ දී මම එසේ ප්‍රමාදවීමට හේතුව රටට හෙළි කළා.”


“නුවරඑළිය නව මහ රෝහල විවෘත කිරීම ප්‍රමාද වූයේ සෞඛ්‍ය අමාත්‍යවරයාට වේලාවක් නොමැති බව සදහන් කරමින් මෙම ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේනමක් චෝදනා එල්ල කළා. මම කියන්න කැමැතියි නුවරඑළිය මහ රෝහල ඉදිකිරීමෙන් පසු පැවැති ගැටලු නිරාකරණය කිරීමට කාළයක් ගත වුනා. හම්බන්තොට සහ නුවරඑළිය රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් මෙම රෝහල් වලට ලබාදෙන වෛද්‍ය උපකරණ පිළිබදව ප්‍රශ්න මතු කළා. නවීන රෝහලක් ලබාදුන්නත් පැරණි උපකරණ ලබාදීමට තමයි සැළසුම් කර තිබුනේ. එය දූෂණයක්. පැරණි උපකරණ අළුත් උපකරණ ලෙස පෙන්වමින් විශාල මුදලක් වංචා කරමින් එම උපකරණ ලබාදෙන්න සැළසුම් කර තිබුනා. එය නියමානූකූල කිරීමට වසර 03 ක කාලයක් ගත වුනා. පසුගිය රජය සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවබෝධයකින් තොරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගිවිසුම් අත්සන් කළා. යුරෝපයේ පාවිච්චි කර ඉවත දමන උපකරණ තමයි මෙම රෝහල් වලට ලබාදීමට සැළසුම් කර තිබුනේ. විශේෂඥ වෛද්‍යවරුන් නවීන උපකරණ ඉල්ලා සිටියා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩ් ස්ථාවරය නිසා තමයි මෙම ගැටලුව විසදන්න පුළුවන් වුනේ. මම ඒ පිළිබදව ඔවුන්ට ස්තූතිය පුද කරනවා. විශේෂඥ වෛද්‍යවරුන් එම ස්ථාවරයේ සිටීම පිළිබදව. මෙම රෝහලට යුරෝ මිලියන අටහමාරක වටිනාකමකින් යුතු වෛද්‍ය උපකරණ ලබාදෙනවා. රජය සමග නෙදර්ලන්ත සමාගම ගිවිසුම් අත්සන් කරලා තිබුනේ. ගිවිසුමට අනුව උපකරණ ලබාදිය යුතුයි. ගිවිසුම අත්සන් කළේ පොදු පෙරමුණ ද එක්සත් ජාතික පක්ෂ රජය ද නොව පවතින රජය සමගයි. ගිවිසුම අත්සන් කළ දින සිට ක්‍රියාත්මක වෙනවා. මෙලෙස වංචා කරමින් පැරණි උපකරණ මෙම රෝහලට ගෙනවිත් තිබුනා නම් මම රාජ්‍ය නායකයා බාල්දු කිරීමට මෙම ස්ථානයට ගෙන එන්නේ නැහැ. උපකරණ වල මිල වර්තමාන වෙළෙදපොලේ පවතින වෛද්‍ය උපකරණ මිලටත් වඩා සියයට 39.51 කින් වැඩියි. ජනාධිපතිවරයාත් මමත් සාකච්ඡා කර අවසන් තීන්දුවකට පැමිණ සමාගමට දැනුම් දුන්නා නවීන උපකරණ ලබාදෙන්න කියලා.”


“පසුගිය රජය විදේශ ආයෝජන ගිවිසුම් අත්සන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග නොවෙයි. පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කරන ලීනියර් ඇක්සලේටර් 13 ක් ගෙනඒමට ගිවිසුම් අත්සන් කර තිබුනේ දූෂණ වංචා වලට අනුවයි. එම යන්ත්‍ර විශේෂඥ වෛද්‍යවරුන් විසින් අනුමත කළ යුතු වුවත්, එය අනුමත කර තිබුනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායකවරයෙක් විසින්. නමුත් ඔහු පෙනී සිටියේ වෛද්‍යවරයෙකු ලෙසයි. එවැනි වෛද්‍යවරයෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටියේ නැහැ. පරීක්ෂණ පවත්වන විට ඔහු විශ්‍රාම ගියා. එම නිසා වසර 03 ක් යන තුරු රෝහල් වලට ලිනීයර් ඇක්සලේටර් නැති වුනා. මම එම ගැටලුව විසදා ගත්තේ පසුගිය වසරේ දීයි. මෙවැනි දුෂණ වංචා වලට මම වෛද්‍යවරයෙක් ලෙස අනුමැතිය ලබාදෙන්නේ නැහැ. 2018 වසරේ නිෂ්පාදිත අතිනවීන ලීනියර් ඇක්සලේටර් ලංකාවට ගෙනඒමට මට පුළුවන් වුනා. මෙම අර්බුද වලට මම මුහුණ දුන්නා. නමුත් මම මගේ ස්ථාවරත්වය වෙනස් කරන්නේ නැහැ. තනතුරු වලින් වැජඹිලා පසුව ජනතාවගෙන් බැණූම් අහන්න සූදානම් නැහැ. යුරෝපයේ කුණූ ලංකාවට ගෙනඒම නතර කරලා නවීන වෛද්‍ය උපකරණ 58 ක් මෙම රෝහලට ලබාදෙනවා. හම්බන්තොට සහ නුවරඑළිය රෝහල්වල නවීනතම සීටී ස්කැනර් යන්ත්‍ර දැන් තිබෙනවා. ප්‍රමාදවෙලා හරි අපි නිවැරදි දෙය ඉටු කළා. ජනාධිපතිවරයාත් මමත් 2015 වසරේ මෙම සටන ආරම්භ කළේ පසුගිය රජය සිදු කළ දුෂණ සහ වංචා බලාගෙන ඉන්න බැරුවයි. අපි මැතිවරණයෙන් දිනයි කියා අපිවත් හිතුවේ නැහැ. විශේෂඥ වෛද්‍යවරු හම්බන්තොට සහ නුවරඑළිය රෝහල්වල ගැටලු වලදී නොසැලී සිටීම මට ශක්තියක් වුනා. ඔවුන් නියම වෛද්‍යවරු. ප්‍රමාද වෙලා හෝ විශාල මුල්‍ය වංචාවක් නතර කරලා ලබාදුන් මෙම නවීනතම රෝහල ආරක්ෂා කිරීම ජනතාවගේ ද වගකීමක් වනවා.”


මෙම අවස්ථාවට අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ පියදාස, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.