MINISTRY OF HEALTH

Sri Lanka

 

Seventy-Second World Health Assembly 20 - 28 May 2019 2019-05-16

 

ලෝක සෞඛ්‍ය සමුළුව 20 දා ඇරඹෙයි. සුව ඇමැති ජීනීවා නුවරට.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 72 වන වාර්ෂික සමුළුව ලබන 20 දින සිට 28 දින දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන අතර, ඊට සහභාගි වීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හෙට (17) ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතය.

 

වාර්ෂික සමුළුව ආරම්භවීමට ප්‍රථම පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයින්ගේ සාකච්ඡාවකට ද ජිනීවා නුවර දී සෞඛ්‍ය අමාත්‍යවරයා එක්වීමට නියමිතය.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 72 වන සැසිවාරයට සාමාජික රටවල් 194 ක් නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරුන්, සෞඛ්‍ය බලධාරීන් සහභාගිවීමට නියමිතව ඇත. සෑම තැනකදීම සැම දෙනාටම ගුණාත්මක සෞඛ්‍යයක් යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙන අතර, මෙම සමුළුව ඉතා තීරණාත්මක වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව තීන්දු තීරණ ගන්නා මෙම සමුළුව විධායක මණ්ඩලය විසින් සකස් කරන න්‍යාය පත්‍රයකට අනුව සෞඛ්‍ය කරුණු පිළිබදව අවධානය යොමු කිරීමට නියමිතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්ති සකස් කිරීම, අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම, මුල්‍ය ප්‍රතිපත්ති අධීක්ෂණය, අයවැය අනුමත කිරීම ද මෙම සමුළුවේ දී සිදුවන අතර, බෝනොවන රෝග පාලනය කිරිම, ඉන්ෆ්ලුවෙන්සා, එච්.අයි.වී රෝග පාලනය කිරීම, ළමා හා මාතෘ සෞඛ්‍ය, වැඩිහිටි සෞඛ්‍ය, පිළිබදව අවධානය යොමු කිරීමට නියමිතය.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 72 වන වාර්ෂික සමුළුව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් අමතනු ලබන්නේ ලබන 21 දායි. එහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක නායකයින් දැනුවත් කිරීමට නියමිතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද එම සංවිධානයේ උපසභාපතිවරයෙකු ලෙස ද දොස්තර රාජිත සේනාරත්න මහතා කටයුතු කරයි.