MINISTRY OF HEALTH

Sri Lanka

 

152 New ambulances which worth 2850 million handing over to SL Health Service 2019-01-19

 

විවේචනවලට බිය නොවන්න, සෞඛ්‍ය තීන්දු තීරණ කඩිනමින් ගත යුතුයි. සුව සේවාවට ගිලන් රථ 152 ක් එක් කරමින් සුව ඇමැති කියයි.

 

දිවයින පුරා පිහිටි රෝහල් 152 කට අවශ්‍ය ගිලන් රථ 152 ක් බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභා භූමියේ දී අද (18) පස්වරුවේ සිදු කෙරිනි.

 

එංගලන්තයේ ෆොර්ඩ් සමාගම නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 132 ක් ද ජර්මනියේ බෙන්ස් සමාගම නිෂ්පාදනය කරන ලද ගිලන් රථ 20 ක් ද, මෙහිදී බෙදාදුන් අතර, ඒ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 2850 කි. ෆොර්ඩ් වර්ගයේ ගිලන් රථ 250 ක් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100 ක් රෝහල් වලට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත. දැනට බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් රෝහල්වලට බෙදා දී තිබේ. අද දින බෙදා දුන් ගිලන් රථ මධ්‍යම රජයේ රෝහල් 34 කට ද පළාත් සභා රෝහල් 116 කට ද ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් 02 කට ද බෙදා දෙනු ලැබීය.

 

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ගිලන් රථ රියදුරන්ට හදිසි තත්ත්වයක දී ප්‍රතිකාර කිරීම සදහා අනෙකුත් කාර්ය මණ්ඩලය සමග ඒකාබද්ධ වීමට විශේෂ පහුණුවක් ලබාදෙනවා. ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ගොඩනැංවීම අපගේ අරමුණයි. අග්‍රාමාත්‍යවරයා “සුවසැරිය” ගිලන් රථ සේවාව ආරම්භ කළේ නිවසේ සිට රෝහල දක්වා රෝගීන් ප්‍රවාහනය කිරිම සදහායි. “සුවසැරිය” ගිලන් රථ සේවාව ආරම්භ කරන විට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි විවේචනයක් එල්ල කළා. මැලේරියාව, රෝ ඔත්තු සේවාව ලංකාවට එන බව ප්‍රකාශ කළා. දැක්ක තැන දී ගල් ගහන්නත් කිවුවා. තමන් වෛද්‍යවරුන් බව ප්‍රකාශ කරමින් ගිලන් රථයකට ගල් ගහන්න කියපු ලෝකයේ එකම වෛද්‍යවරුන් ඉන්නේ ලංකාවේ. මේ වන විට “සුවසැරිය” ගිලන් රථ සේවාවෙන් ලක්ෂ 08 කට වඩා ජනතාවකට සේවය ලබා දී තිබෙනවා. දරු ප්‍රසූත 35 ක් සිදු වී තිබෙනවා. එම සේවාවේ කාර්ය මණ්ඩලයට විධිමත් පුහුණුවක් ලබා දී තිබෙනවා. සුවසැරිය ගිලන් රථ සේවාව ජනතාව ඉහළින් පිළිගන්නා නිසා තමයි දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක් බවට එය පත් කළේ. ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි අහනවා සුව සැරිය ගිලන් රථ ම ගේන්න බැරිද කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශය ගිලන් රථ ගෙනඒමට ටෙන්ඩර් කැඳවූවා. එහිදී සමාගම් 04 ක් අයදුම්පත් ඉදිරිපත් කර තිබුනත් ඇතැම් සමාගම් වල මිල ඉතාම අධික වුනා. වෑන් රථ වලට ගිලන් රථ උපකරණ සවිකර දීමට ඇතැම් සමාගම් යෝජනා ඉදිරිපත් කළා. නමුත් ෆොර්ඩ් සහ බෙන්ස් සමාගම් නියම ගිලන් රථ ගෙනඒමට කටයුතු කළා. මීට පෙර මෙවැනි ගිලන් රථ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන්වූයේ නැහැ. අපේ අමාත්‍යාංශයේ නිලධාරින් සමාගමට අවශ්‍ය පරිදි තමයි වැඩ කටයුතු සිදු කළේ. මෙවරත් එවැනි සිද්ධි සිදු වීමට තිබුනත් එය නතර වුනා. මටත් බලපෑම් කළා. නමුත් ටෙන්ඩර් ඉදිරිපත් කළ ආකාරයට තමයි නිසි පරිදි එය සිදු වුනේ. ෆොර්ඩි වර්ගයේ එක ගිලන් රථයක මිල රුපියල් මිලියන 9.2 ක්. සමහරු කැමැති නැහැ මෙවැනි ගිලන් රථ ගෙනඒමේ තීරණයට මොකක් හරි වාහනයක යන්න තමයි බලන්නේ. බෙන්ස් වර්ගයේ රථවාහන භාවිත කළේ ධනපතීන් විසින්. නමුත් වර්තමානයේ ගම්වැසියන්ට ද බෙන්ස් වර්ගයේ ගිලන් රථයකින් හෝ රෝහලට යන්න පුළුවන්. සියලු සෞඛ්‍ය පරික්ෂණ නොමිලේ ලබා දී තිබෙනවා. ලෝකයත් සමග ගමන් කරන්නේ නැති. රටක් දියුණු වන්නේ නැහැ. එම නිසයි ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් පැවැසුවේ නව දේවල් නිපදවන රටක් ඉදිරියට යනවා කියලා.”

 

“වත්මන් රජය සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වැඩි මුදලක් වෙන් කර තිබෙනවා. අපි මුදලට වඩා මනුෂ්‍යත්වය දෙස බලනවා. සෞඛ්‍ය සේවාව සදහා වූ තීන්දු තීරණ කඩ්නමින් ලබාගත යුතුයි. ප්‍රමාද වී ගන්නා තීන්දු තීරණ නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහර තීන්දු තීරණ විවේචනයට ලක් වෙයි. හොරකම් කරනවා කියලා කියයි. ඒවා ගණන් ගන්න එපා. ඇතැම් මාධ්‍යවේදීන් කුහක කම නිසා මාව විවේචනය කරනවා. නමුත් මම ඔවුන්ටත් නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ ලබාදීමට පියවර ගෙන තිබෙනවා. අනගාරික ධර්මපාල තුමා ප්‍රකාශ කළා ලංකාවේ හොද වැඩ කරනවා නම් බැනුම් අහන්න සුදානම් වෙන්න කියලා. මහාචාර්ය සේනක බිබිලේ මහතාත් ශ්‍රී ලංකාව ගැන කළකිරී තමයි රට අතහැර ගියේ. ලෝකයම ගරු කළත් අපේ රට ගරු කරන්නේ නැහැ. ලංකාවේ කිසිම වෛද්‍ය සඟරාවක සෞඛ්‍ය සේවාව අගය කරලා ලිපි පළ නොකළත්, බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාව සෞඛ්‍ය සේවාව අගය කර කතුවැකියක් ලියා තිබෙනවා. හෘද රෝගීන් සදහා ටෙනෙක්ටර් ප්ලේස්, සුවසැරිය ගිලන් රථ සේවාව සහ ස්ටෙන්ස් ලබාදීම නිසා හෘද රෝග ප්‍රතිකාර සේවාව විප්ලවීය වෙනසකට ලක්ව ඇති බව එම සඟරාව පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය නවීන ඖෂධ, උපකරණ ඉදිරියටත් ලබාදෙනවා. එය තමයි යහපාලනයේ ප්‍රතිඵල. ගිලන් රථ හෙළිකොප්ටර් යානා සහ ආපදා රථ ද ලංකාවට ගෙනඑනවා. ඒවා භාවිතා කරමින් ද රෝගීන් කඩිනමින් රෝහල්වලට ගෙනඒමට කටයුතු කරනවා.”

 

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගිලන් රථ යතුරු රෝහල් අධ්‍යක්ෂවරුන්ට පිරිනමන ලදි. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) ටී.පෙරන්පනායගම් මහතා විසින් රචිත මාර්ග අත් පොතක් ද සියළුම ගිලන් රථ රියදුරන්ට මෙහිදී බෙදා දුන්හ. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම ගිලන් රථ පරීක්ෂාවට ද ලක්කරන ලදි.

 

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ගීතාමනී කරුණාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අධ්‍යක්ෂ මනෝඡ් කරුණාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, රෝහල් අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ෆොර්ඩ් සමාගම වෙනුවෙන් අධ්‍යක්ෂ (අලෙවි) ගිහාන් විතානගේ, අධ්‍යක්ෂ හේමන්ත ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගිලන් රථ රියදුරන්, වෘත්තීය සමිති නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.