MINISTRY OF HEALTH

Sri Lanka

 

National Dengue Control Week , 11th – 12th January 2019 2019-01-10

 
ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහන ජනවාරි 10,11
 
දැනට පවතින කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගින් වාර්ථා විමේ කාලීන ඉහළයාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය දන්වා සිටී. එමෙන්ම උතුරු පළාතේ පැවති ගංවතුර තත්ත්වය පහව යෑමත් සමග මදුරුවන් බෝවිය හැකි ජලය රැදුණු ස්ථාන පරිසරයේ ඉතා සුලභව පවතින බැවින් මදුරුවන් බෝවීමේ අවධානමද ඉහළ ගොස් ඇත.
 
මේ තත්ත්වය අවම කර ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්ධන විශේෂ  ක්ෂේත්‍ර වැඩසටහන 2019 ජනවාරි 10 හා 11 දිනයන්හිදි පැවැත්වීමට කටයුතු සලසා ඇත. මෙය බස්නාහිර පළාත,යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික්ක වල හදුනාගත් වැඩි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශ 40ක ජනාධිපති කාර්යාල සාධක බලකාය සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි.
 
මෙම වැඩසටහන යටතේ නිවාස, පාසල්, වැඩබිම්, ආයතන,කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන ඇතුළු සමස්ථ පරිශ්‍ර නිරික්ෂණයට ලක්කරයි. මදුරුවන් බෝවන හෝ බෝවිය හැකි ස්ථාන හදුනා ගත්ත ද ප්‍රජාව සමග ඒකාබද්ධව ඔවුන්ගේ සහභාගිත්වයෙන් එම ස්ථාන ඉවත් කිරිමට හෝ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරයි.
 
මෙම විශේෂ ක්ෂේත්‍ර වැඩසටහන් සදහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 590ක් එක් දිනකට සිය දායකත්වය ලබා දීම සිදු වේ.
 
නිවාස,පාසල්,වැඩබිම්,ඉදිකිරිම් පරිශ්‍ර, ආයතන, ආගමික ස්ථාන, කර්මාන්ත ශාලා, පොදු ස්ථාන ඇතුළු ඕනෑම පරිශ්‍රයක ජලය රැදුන ස්ථානයන්හි ඩෙංගු මදුරුවාට බෝවීමේ හැකියාව පවති. මේ හේතුවෙන් ජනවාරි හා පෙබරවාරි මාස වල දී ඇතිවිය හැකි ඩෙංගු අවධානම් තත්ත්වය වලක්වා ගැනීම සදහා බලධාරින් හා ප්‍රජාවේ සක්‍රිය දායකත්වය ඉතාමත් වැදගත් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය දන්වා සිටී.
 
ප්‍රජාව හා බලධාරින් නිරතුරුව අවධානයෙන් සිටිමින් තම පරිශ්‍රයන්හි මුදුරුවන් බෝවිය හැකි ස්ථාන හදුනා ගෙන ඒවා ඉවත් කිරිම හෝ එසේ කල නොහැකි ස්ථාන වල දී, මදුරුවන් බෝ නොවන ලෙස පවත්වා
 
ගැනීම කල යුතුය. ඒ සදහා අවශ්‍ය තාක්ෂණික කරුණු හා සෞඛ්‍ය තොරතුරු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකගෙන් හෝ වැඩි විස්තර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගෙන් ලබා ගත හැකිය.
 
අවම වශයෙන් සතියකට වරක්, විනාඩි 30ක් තම වටපිටාව ආශ්‍රිතව මදුරුවන් බෝවිය හැකි හෝ බෝවන ස්ථාන ඇත්දැයි සොයා බලා එම ස්ථාන ඉවත් කරන ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.
 
 
ස්තූතියි.                          
මෙයට,
විශ්වාසී
 
ප්‍රසන්න අධිකාරි
අධ්‍යක්‍ෂ (මාධ්‍ය)