මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන් බිහි කිරීමට අමතරව හෙද හෙදියන් සදහා වූ විශේෂ හෙද පීඨය ආරම්භ කිරීමේ අවස්ථාව ඓතිහාසික කර්තව්‍යක්. මෙරට හෙද සේවාවට ඉතා දිර්ඝ අතීතයක් පවතිනවා. එවැනි හෙද සේවාවක් ලොව වෙනත් රටවල දක්නට ලැබෙන්නේ නැහැ. කිර්තිමත් ඉතිහාසයක් ඇති හෙද සේවාව සදහා වෘත්තීය මට්ටමක් ලබාදීමේ අරමුණින් මෙම හෙද පීඨය ආරම්භ කිරීමට අපි සැළසුම් කළේ 2001 එක්සත් ජාතික පක්ෂ රජය සමයේයි. සම සෞඛ්‍ය සේවාව තුල වැඩවර්ජනයක් ආරම්භ වූ අතර, එය විසදීම සදහා අග්‍රාමාත්‍යවරයා කමිටුවක් පත් කරන ලදි. එම කමිටුවට මමත් ඇතුලත් වුනා. එහිදී මම ප්‍රකාශ කළේ රුපියල් සත වෙනුවෙන් සටන් නොකර වෘත්තීයමය තත්ත්වයක් වෙනුවෙන් සටන් කරන්න කියලා. නැතිනම් අනෙක් වෘත්තීයවේදීන් සමග සමාන තත්ත්වයක් ඇති නොවන බව ද පෙන්වා දුන්නා. ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් සකස් කර සම්මත වුවද එම රජය බිදවැටුනා. ඉන් පසු පැවැති රජයන් වල දී වෘත්තීය සමිති ඉල්ලීම මත මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කෙරුනා. විශාල විරෝධතා පැමිණියා. වෛද්‍යවරුන් විරුද්ධ වුනා. ඔවුන් දූපත් මානසිකත්වයෙන් කටයුතු කරන්නේ. වෙනත් රටවල මෙවැනි තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. මුලු ලොවම විශ්ව ගම්මානයක් වෙලා. ඊනියා බුද්ධිමතුන් පවා කටයුතු කරන්නේ දුපත් මානසිකත්වයෙන්. වෙනත් රටවල සංවර්ධනය දෙස බලන්නේ නැහැ. නව රජය බලයට පත් වූ පසු මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කළා. නව රජය බලයට පත්වූයේ නිහඩ විප්ලවයකින්. සෞඛ්‍ය සේවාව සදහා මූල්‍ය ප්‍රතිපාදන වැඩි කරමින් විධිමත් සෞඛ්‍ය සේවාවක් දිවයින පුරා ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටිනවා. විවිධ අවයව බද්ධ කිරීම් ඇති කරමින් හෘද සැත්කම් සිදු කරමින් සෞඛ්‍ය සේවාව ඉදිරියට ගෙනයාමට අපට හැකිවී තිබෙනවා. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ හෘද රෝගීන්ගෙන් 1/6 ක් දැනට මියයන බවයි. එම මියයන රෝගියා ද බේරා ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා. නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදෙමින් නිදහස් සෞඛ්‍ය සේවාව අකුරටම ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා තිබෙනවා. පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සීමාව රුපියල් ලක්ෂ 15 ක් වුව ද එම සීමාව ඉවත් කරමින් ජිවිතාන්තය දක්වා ප්‍රතිකාර කිරීමට පියවර ගෙන තිබෙනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් ජනාධිපතිවරයා එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සුදානම් වූව ද එය අසාර්ථක වුවා. ඊට හේතු වූයේ එම කාලයේ තිබූ බලපෑම්. සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය සදහා විවිධ වැඩසටහන් දියත් කර ඇතත්. වර්තමානයේ ජනතාව කථා කරන්නේ පොල් බෑයේ මිල සහ හාල් මිල ගැණයි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩුවන විට කථා නොකළ මාධ්‍ය එය සියයට 5 කින් මිල වැඩි වන විට කථා කරන්න පටන්ගෙන තිබෙනවා. සමහරුන්ට ආරෝග්‍ය පරමා ලාභා කියන්නේ පොල්බෑය සහ හාල් පමණයි. ඊට අපි නම් කියන්නේ බඩජාරිකම කියලයි. ඉදිරියේ දී පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කරනවා.”
“යුරෝපා රටවල් වලින් හෙද හෙදියන් සදහා විශාල ඉල්ලුමක් පවතිනවා. මෙම හෙද පීඨය පශ්චාත් හෙද උපාධි ආයතනයක් බවට ද පත් කරනවා. හෙද සේවාව වෛද්‍යවරුන් මෙන් වෘත්තීයමය සේවාවක් බවට පත් කළ යුතුයි. ඉදිරියේ දී සම සෞඛ්‍ය සහ ඖෂධවේදය සදහා ද පීඨ ස්ථාපිත කරනවා. ඉන් පසු වෛද්‍යවරුන්, හෙද හෙදියන්, ඖෂධවේදීන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල වෘත්තීයමය තත්ත්වයට පත් වෙනවා. මෙවැනි සේවාවක් අපට ලබාදීමට හැකි වුයේ වත්මන් ජනාධිපතිවරයා නිසයි. සෞඛ්‍ය සේවාවට අදාල විවාධාත්මක පණත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන විට ජනාධිපතිවරයා පුර්ණ සහයෝගය ලබාදුන්නා. එහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු වන්නේ දුම්කොළ සදහා සියයට 90 ක බදු පැනවීමේ වැඩපිළිවෙලයි. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී විවිධ පාර්ශ්ව වලින් බාධා ඒල්ල වුනා. එවිට ජනාධිපතිවරයා කියා සිටියේ දුම්වැටි බදු වලින් මම අයවැය හදන්නේ නැහැ කියලයි. මම රජය බිහි කළේ දුම්බීමෙන් ජනතාව රෝගී තත්ත්වයට පත්කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා සදහන් කළා. දුම්කොළ සදහා සියයට 90 ක බදු පැනවීමෙන් පසුගිය වසරේ දී රාජ්‍ය ආදායමට රුපියල් බිලියන 25 ක පාඩුවක් සිදුව තිබෙනවා. නමුත් ජනතාව දුම්බීමෙන් ඈත් කිරීමට අපට හැකියාව ලැබුනා.”
“නිදහස් අධ්‍යාපනය සහ නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන බවට ඇතැමුන් චෝදනා කරනවා. ඒ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කර ගනිමින්. විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර ඉදිකරමින් සියලු පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. දිවයින පුරා රෝහල් සියල්ලම දෙස් විදෙස් ආධාර මත සංවර්ධනය කරනවා. ඉදිරි වසර 03 තුල හොදම සෞඛ්‍ය සේවාව රජයේ රෝහල්වලින් ලබාදීම මගේ අරමුණයි. පෞද්ගලික අංශයෙන් නොවන රජයේ රෝහල්වලින් හොදම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ දී ජනතාවට සහන රැසක් ලැබෙනවා. නමුත් රජය කරන වැඩකටයුතු පිළීබදව මාධ්‍ය වැඩි ප්‍රචාරයක් ලබාදෙන්නේ නැහැ. යහපාලන රජයේ වෙනස සමහරුන්ට තේරෙන්නේ නැහැ. බෝක්කුව, පාර, හදපු නැති එක ගැන තමයි කථා කරන්නේ. දුර්වල කම් නැති රජයන් ලොව කොතනකවත් නැහැ. ගැටලු තිබෙනවා. ජනතා අවශ්‍යතා හදුනා ගනිමින් තමයි රජය කටයුතු කරන්නේ.”
මෙම හෙද පීඨය ශ්‍රී ජයවර්ධනපුර රෝහල් භූමියේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. හෙද පීඨය සදහා වැය කරන මුදල රුපියල් බිලියන 8 කි. එකවර හෙද හෙදියන් 2000 ක් පුහුණු කිරීමට නියමිතය. එම හෙද හෙදියන් සදහා නේවාසිකාර ඉදිකරනු ලබන්නේ නැගෙනහිර කොළඹ මුලික රෝහල් භූමියේයි. නේවාසිකාගාර ඉදිකිරීම සදහා රුපියල් බිලියන 6.5 ක මුදලක් වැය කරයි. එහි ක්‍රීඩා පහසුකම්, පිහිණුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන ද ඇතුලත් වෙයි. මෙම හෙද පීඨයේ අධ්‍යාපනය ලබන හෙද හෙදියන් සදහා බ්‍රිතාන්‍ය යේ විශේෂ ඉංග්‍රීසි පාඨමාලාවක් ද ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර ඇත. එහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය හෙද හෙදියන් බිහි කිරීමෙන් අනතුරුව අතිරික්තය විදේශීය හෙද සේවාව සදහා යොමු කිරීමට නියමිතය. රජයේ හෙද නිලධාරින්ගේ සංගමය විසින් ජනාධිපතිවරයාට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ අසස් අධ්‍යාපන අමාත්‍යවරයාට මෙහිදී සම්මාන ද ලබා දෙන ලදි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අංශු මාරසිංහ, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුලු පීඨාධිපතිවරුන්, ආචාර්ය මණ්ඩලය, වෘත්තීය සමිති නායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.