MINISTRY OF HEALTH

Sri Lanka

 

Closing Ceremony of World Mental Health Day 2019 2019-10-16

ප්‍රධාන කර්තෘ - පුවත්පත්,
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ - රූපවාහිනී/ගුවන්විදුලි
සංස්කාරක - වෙබ් පුවත්
 
ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය සැමරුමෙහි සමාප්ති උත්සවය.
 
ඔක්තෝබර් 10 වැනි දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මගින් සංවිධාන කළ වැඩසටහන් මාලාවේ සමාප්ති උත්සවය පසුගියදා (ඔක්තෝබර් 14) එම විද්‍යායතනයේ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්විය. මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය හා සිය දිවි හානි කර ගැනීම් අවම කිරීම මෙවර ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයේ තේමාවයි. එයට සමගාමීව මනසුව පුබුදමු - දිවිමග සුරකිමු යන මැයෙන් ශ්‍රී ලංකාව තුළ ජාතික මානසික සෞඛ්‍ය දිනය සමරනු ලැබීය.
 
විවෘත හා පාසල් යන දෙඅංශය වෙනුවෙන්ම පැවති චිත්‍ර තරගාවලිය පසුගිය ඔක්තෝබර් 8 වැනිදා බත්තරමුල්ල දියත උයන කේන්ද්‍රකර පැවැත්විණ. සියදිවි නසා ගැනීම් අවම කිරීම සදහා සංවිධාන කෙරුණු පියවර මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන පා ගමන ඔක්තෝබර් 11 වැනිදා ගාලු මුව දොර ක්‍රීඩාංගණය අබියසින් ගමන් ආරම්භ කරන ලදී. ඉන්පසු මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය හා සිය දිවි හානි කර ගැනීම් අවම කිරීමේ ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දින තේමාව අනුව යමින් පොදු මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ ප්‍රදර්ශන පුවරු, ස්ටිකර් ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කෙරිණ. අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රධාන ශාලාවේ විවිධ ප්‍රසංගයක්ද පසුගිය ඔක්තෝබර් 12 වැනිදා පැවැත්විය. මෙම ජාතික මානසික සෞඛ්‍ය දින වැඩසටහන් මාලාව අවසානයේ එහි සමාප්ති උත්සවය පැවැත්වුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
 
ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය සමරමින් පැවති චිත්‍ර හා ඡායාරූප ප්‍රදර්ශනය, අධ්‍යාපන ප්‍රදර්ශනය, මහජන දැනුම්වත් කිරීමේ දේශන මාලාවක් සහ වීදි නාට්‍ය දර්ශනයක්ද අවසන් දින වැඩසටහන් මාලාවට ඇතුලත්විය. පැය විසිහතර පුරා ක්‍රියාත්මක ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවයේ දුරකතන මෙහෙයුම් මැදිරියද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමන්ගේ නිරීක්ෂණයට ලක්විය. 1926 ක්ෂණික දුරඇමතුම් අංකය ඔස්සේ විශේෂඥ මානසික උපදෙස් කිසිදු ගාස්තුවකින් තොරව ලබා දීම සදහා මෙම ඒකකය පිහිටුවා ඇත. සමාප්ති උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සදහන් කළේ 2018 වසරේ මෙරට සියදිවි නසා ගැනීම් ප්‍රමාණය 3226ක් බවයි. වසරකට ලොව පුරා සිය දිවි නසා ගැනීම් ලක්ෂ 8ක් පමණ සිදු වන බවද එතුමා සදහන් කළේය. 1995 වසර වන විට ලොව සිය දිවි නසා ගැනීම් අනුපාතය වැඩිම රට ශ්‍රී ලංකාව බවත් අද වන විට එම තත්වය වෙනස් වී ඇති නමුත් තවමත් සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීම් මෙරට බහුලව වාර්තා වන බවත් විශේෂඥ වෛද්‍ය නීල් පුනාන්දු මහතා අනාවරණ කළේය. මෙහි බරපතලම තත්වය ලෙස ඒ මහතා පෙන්වා දෙන්නේ වයස අවුරුදු 15ත් 30ත් අතර පුද්ගලයන්ගේ මරණවලට බහුතර හේතුව ලෙස වාර්තාවන්නේ සිය දිවි හානිකර ගැනීම බවයි. මෙම තත්වය වෙනස් කිරීමට ප්‍රජාව හා බද්ධවූ මානසික සෞඛ්‍ය සේවාවක් සැකැසීමට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ගන්නාවූ උත්සාහයට සහාය දිය යුතු බවයි  හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ.
 
සාර්ක් කලාපයීය රටවල සහභාගිත්වයෙන් පැවති මානසික සෞඛ්‍ය දින සැමරුමද මෙදිනම පැවැත්වීම විශේෂත්වයකි. ජාතික මානසික සෞඛ්‍ය දින සැමරුම් උත්සවය සදහා සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින්, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයීය වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය වජිර දිසානායක සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන මහත්වරුන්ද එක්ව සිටියහ.
 
එම්. අයි. ජේ. විජේනායක
මාධ්‍ය ලේකම්
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය