MINISTRY OF HEALTH

Sri Lanka

 

උතුරු පළාතේ දූපත් ආශ්‍රිතව රෝගී ප්‍රවාහනයට රුපියල් මිලියන 15 ක වියදමින් ගිලන් රෝගීන් ප්‍රවාහන නවීන බෝට්ටු 02 ක් ලබාදීමට සුව ඇමැතිගෙන් උපදෙස්. 2019-08-19


සෞඛ්‍ය සේවාවේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය කරමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක උතුරු පළාත් සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (15) උතුරු පළාතේ රෝහල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


ඒ අනුව ඊයේ දින (15) ඩෙල්ෆ්ට් දිස්ත්‍රික් රෝහල, නයිනතිවු දිස්ත්‍රික් රෝහල, අනලතිව් ප්‍රාදේශීය රෝහල, කයිට්ස් මූලික රෝහල, වේලනයි ප්‍රාදේශීය රෝහල යන රෝහල්වල රෝහල් සංවර්ධන කටයුතු නිරීක්ෂණයට ලක් කරන ලදි. මෙම නිරීක්ෂණ චාරිකාවේ එක් විශේෂත්වයක් වුයේ මෙම බොහෝ රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සනිටුහන් වීමයි.


ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි ඩෙල්ෆ්ට් දිස්ත්‍රික් රෝහලේ රුපියල් මිලියන 18.2 ක වියදමින් ඉදිකෙරෙන මාතෘ සායන ගොඩනැගිල්ල, රුපියල් මිලියන 07 ක වියදමින් ඉදිකෙරන වාට්ටු සංකීර්ණය, රුපියල් මිලියන 02 ක වියදමින් ඉදිකෙරන මෘත ශරීරාගාරය, රුපියල් මිලියන 06 ක වියදමින් ඉදිකරන ලද වෛද්‍ය නිල නිවාස සංකීර්ණය ද සෞඛ්‍ය අමාත්‍යවරයා පළමුව නිරීක්ෂණයට ලක් කරන ලදි. ඩෙල්ෆ්ට් දූපතේ 5750 ක පමණ ජන ගහනයක් ජීවත් වන අතර, පවුල් 300 ක් මෙම රෝහලෙන් සෞඛ්‍ය සේවාවාවන් ලබාගනී.


අනලතිව් ප්‍රාදේශීය රෝහල නිරීක්ෂණය කිරීමෙන් පසු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවේ දී නිලධාරීන් පෙන්වා දෙන ලද්දේ හදිසි අවස්ථා වල දී දූපත්වල පිහිටි රෝහල්වල සිට මුහුදු මාර්ගයෙන් රෝගීන් ප්‍රවාහනයේ දී මහත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇති බවයි. ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ගැඹුරු මුහුද සහ රළු මුහුදු මාර්ග ඔස්සේ රෝගීන් ප්‍රවාහනයට සිදුවන බැවින් කඩිනමින් ගිලන් බෝට්ටු දෙකක් මෙරට දී නිෂ්පාදනය කර ලබාදීම සදහා රුපියල් මිලියන 15 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස  අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “පසුගිය අවුරුදු කිහිපය තුල වත්මන් රජය උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධනය ඇතුළුව සංවර්ධන කටයුතු සදහා විශාල වැඩකොටසක් සිදු කළා. සත්‍යලිංගම් මහතා ඒ සදහා මට විශාල ලෙස සහයෝගය ලබාදුන්නා. මට ලැබුන විදෙස් ආධාර මම උතුරු පළාතේ  ජනතාව වෙනුවෙන් ලබාදුන්නා. මුහුදෙන් වට වුන දූපත්වල වෙසෙන අහිංසක ජනතාවගේ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස මම අද නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඖෂධ හිඟයකින් තොරව ලබාදෙන්න කියලා පළාත් අධ්‍යක්ෂතුමන්ලාට මම උපදෙස් ලබාදුන්නා. දකුණෙන් පැමිණ උතුරු පළාතේ සේවය කරන හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කර්ය මණ්ඩල අද මට පැවසුවා ඔවුන් උතුරු පළාතේ සේවය කරන්නේ ඉතාම කැමැත්තෙන් බව. ඔවුන්ගේ සේවය ඉදිරියටත් ලබාදෙන්න කැමැතියි කියලා ඔවුන් මා සමග පැවසුවා. එය හොද ආදර්ශයක්. රජය ගෙන යන මෙම වැඩපිළිවෙළේ දී සියලු කාර්ය මණ්ඩලවල සහයෝගය සියලු වැඩසටහන් වලදී අපට ලබාදෙන්න. රෝහල් සංවර්ධන ක්‍රියාදාමයේ දී රෝහල් වල ඇතුලත නවීන තාක්ෂණයට අනුව නිර්මාණය කරමින් රෝහල් ඉදිරිපස පැරණි ආකාරය ආරක්ෂා වන පරිදි සංවර්ධන කටයුතු සිදු කරන්න පුළුවන් නම් එය ඉතා හොදයි කියලා මම හිතනවා. මෙම සියලු රෝහල්වලට අත්‍යාවශ්‍ය ගොඩනැගිලි සදහා වන පිඹූරු පත් සකසා අප වෙත ලැබීමට සලස්වන්න. එවිට අපට පුළුවන් එම සංවර්ධන කටයුතු සදහා වන මුදල් ලබාදෙන්න. එමෙන්ම රෝහල්වලට වෛද්‍ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩල අවශ්‍ය තරම් ලබාදීමට අප ඉදිරියටත් කටයුතු කරනවා” යැයි ද වැඩිදුරටත් පැවැසීය.


මෙම අවස්ථාවන් සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා, ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දේවනේෂ්වරන් මහතා, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.ටී කේතීශ්වරන් මහතා ඇතුලු වෛද්‍ය නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩල එක්ව සිටියහ.


 

 

එම්.අයි.ජේ.විජේනායක

මාධ්‍ය ලේකම්

සෞඛ්‍ය, පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යාශය