சுகாதார அமைச்சு

ஶ்ரீ லங்கா

 

ஆயுர்வேதமருத்துவ இடங்களின் இடமாற்றங்களுக்கு செல்வாக்குகள் பயன்படுத்துவதில்லை என சுகாதார அமைச்சர் கூறுகின்றார் 2018-01-09

 
ආයුර්වේද වෛද්‍ය ස්ථාන මාරුවීම් වලට බලපෑම් බැහැ - සුව ඇමැති කියයි.
 
ආයුර්වේද වෛද්‍ය ස්ථාන මාරුවීම් කිසිදු බලපෑමකට යටත් නොවී සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
 
නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැති පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සම්මේලනය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා මේ බව ප්‍රකාශ කලේය. පළාත් සභා බලධාරීන්ගෙන් ආයුර්වේද වෛද්‍ය ස්ථාන මාරුවීම් සදහා විවිධ බලපෑම් එල්ල වන බවට නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කරන ලදි. ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ නවක වෛද්‍යවරයෙක් පත්වීම් ලබාගත් පසු වසර 03 ක කාලයක් එම සේවා ස්ථානයේ සේවය කළ යුතු බවයි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛය අමාත්‍යවරයා - “රැකියා විරහිත දේශීය වෛද්‍ය උපාධිධාරින් සියලු දෙනාටම ලබන සතියේ පත්වීම් ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. එහිදී 697 ක් පත්වීම් ලබනවා. මම අමාත්‍ය මණ්ඩලයෙන් ඒ සදහා අනුමැතිය ලබාගත්තා. මෙතෙක් කල් එම උපාධිධාරීන් එක් එක් දේශපාලන පක්ෂවල උවමනාවන් මත විරෝධතා වල නිරත වුනා. නිදහස් සෞඛ්‍ය සේවාවෙන් දේශීය වෛද්‍ය ක්‍රමය වඩාත් තහවුරු කිරීමේ අරමුණින් මෙම සම්මේලනය පවත්වනවා. අපේ පාරම්පරික වෛද්‍යවරුන් ඉතාමත් විශිෂ්ට ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවට ප්‍රතිකාර කළ නොහැකි රෝග සුවපත් කරනවා. නමුත් ඒවායේ ඇති විද්‍යාත්මක තත්ත්වය තහවුරු කළ යුත්තේ පර්යේෂණ මගින්. එම නිසා අපි පර්යේෂණ සිදු කරනු ලබනවා. දේශීය වෛද්‍ය විද්‍යාව සදහා විදේශීය රටවල විශාල අවකාශයක් ඇති අතර, ඒ සදහා නව නිෂ්පාදන විදේශීය රටවලට යොමු කිරීමට ආයුර්වේද ක්ෂේත්‍රය කටයුතු කළ යුතුයි. තමන් සිටින තනතුරේ කටයුතු විධිමත්ව ඉටු කිරීමට නිලධාරීන් පියවර ගත යුතුයි.”
 
මෙහිදී ඌව පළාත් සභාව විසින් සකස් කළ ආයුර්වේද පර්යේෂණ ග්‍රන්ථය සහ ඖෂධ මංජුසාව සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගන්වන ලද්දේ ඌව පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය අනුර විදානගමගේ මහතා විසිනි.
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, අතිරේක ලේකම් එල්.එචි තිලකරත්න මහතා, ගීතමනී කරුණාරත්න මහත්මිය, ආයුර්වේද කොමසාරිස් මංගලා කරුණාරත්න මහත්මිය සහ පළාත් දේශීය වෛද්‍ය අමාත්‍යවරුන්, නිලධාරීන් රැසක් එක්ව සිටියහ.