සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

2020 නව වසරට සුව ඇමැතිනියගෙන් සුබ පැතුම් 2019-12-31

 
 
උත්සව සමයේ හදිසි අනතුරු අවම කර ගැනිම සදහා අවධානය යොමු කරන ලෙස සුව ඇමැතිනිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
ලබන්නා වු 2020 වසර සාමය, සතු‌ට පිරි සියලු යහපත් සිතුම් පැතුම්, අරමුණු සාක්ෂාත් වන ධෛර්යවන්ත, නිදුක් නිරෝගී වසරක් වේවායි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවාකාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය නව වසර සදහා සුබ පැතුම් එක් කරමින් පවසයි.
 
එමෙන්ම පාසල් නිවාඩු සමයත්, නව වසර සමග එළැබෙන උත්සව සමයත් හේතුවෙන් ජනතාව කාර්ය බහුල හා විනෝදකාමීව කටයුතු කරන බැවින් හා ගමන් බිමන් යෑම සදහා ඉඩහසර යොදවන බැවින්  හදිසි අනතුරු ඉහළ යා හැකි බවත්, ඒ පිළිබද ජනතාව දැනුවත් වෙන ලෙසත්, රෝහල්වල  රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යතුමිය පවසයි.
 
පාසල් නිවාඩු කාලයත්, නව වසර එළඹීමත් නිසා ජනතාව කාර්ය බහුල මෙන්ම බොහෝ ගමන් බිමන් වල ද යෙදේ. එබැවින් හදිසි අනතුරුවල ඉහළ යාමක් සිදු විය හැකි බව සෞඛ්‍ය දත්ත පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් වසරේ පවතින සෞඛ්‍ය දත්ත වලට වඩා උත්සව කාලයේ දී අනතුරුවල පැතිරීමේ වෙනස්වීමක් පෙන්නුම් කෙරේ.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒ්කකයේ හදිසි අනතුරු වැළැක්වීමේ අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සදහන් කරන පරිදි බොහෝ වෙලාවට රෝහල් වලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන්නේ වැටීම් සම්බන්ධයෙනි. නමුත් උත්සව කාලයේ පසුගිය වර්ෂවල දත්ත අනුව මේ ප්‍රවණතාවය වෙනස් වී ඇත. මීට පෙර වසරවල ගිණිකෙළි අනතුරු පිළිබද වැඩි වශයෙන් කථා කථා බහට ලක් වූවත් දැනට තිබෙන සෞඛ්‍ය දත්ත සමග ගත් විට එය යම් කිසි අඩුවීමක් පෙන්නුම් කෙරෙන බව වාර්තා වේ. මාධ්‍ය ඔසසේ ජනතාව දැනුවත් කිරීමට පසුගිය කාලය පුරා කටයුතු කිරීම ඒ සදහා ප්‍රධාන සාධකයක් වී ඇත. එම අනතුරු අඩු වනවිට වෙනත් අනතුරුවල වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, රිය අනතුරු, වැටීම් සහ සතුන් සපා කෑම් මේ අතර ප්‍රධාන වන බවත් ඒ මහතා පෙන්වා දෙයි. එබැවින් මාර්ග නීතිවලට අනුකූලතාවයක් දැක්විය යුතු බවත් පෙන්වා දෙන අතර, ගෘහ අනතුරු සහ දරුවන් සම්බන්ධ අනතුරු වල ද යම් කිසි ඉහළයාමක් දක්නට ලැබෙන බවත් දියේ ගිලීම් සම්බන්ධයෙන් මරණ වාර්තා වීමේ ප්‍රවණතාවයක් ද තිබෙන බව ද පෙන්වා දෙයි.
 
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීම සදහා මෙම වසරේ රෝගීන් 79,787 ක් පැමිණ ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. එසේ පැමිණි රෝගීන්ගෙන් 32,172 ක් වැඩිදුර ප්‍රතිකාර සදහා ඇතුලත් කර ගෙන තිබෙන බවත් එම රෝගීන්ගෙන් 106 දෙනෙක් මියගොස් ඇති බව ද පෙන්වා දෙයි. හදිසි අනතුරු හේතුවෙන් වාර්තා වන රෝගීන් ජනවාරි මස 7,323 ක්, මැයි මස 5,686 ක්, ඔක්තෝබර් මස 7,157 ක්, දෙසැම්බර් මස 5,980 ක් වශයෙන් සහ උත්සව සමය වන අපේල් මස 5,302 ක් වාර්තා වී ඇත. රිය අනතුරු, කෝළාහල, වැටිම් සහ පිළිසුම් හේතුවෙන් සිදු වුණ අනතුරු ද වාර්තා වී ඇති අතර, රිය අනතුරු හේතුවෙන්  මෙම වසරේ 11,542 ක් ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙන අතර, සෑම මසකම 800-900 ක ප්‍රමාණයක වාර්තා වන බවත්, වැඩිම ප්‍රමාණයක් මැයි මස සහ ජුනි මස වාර්තා වී ඇති බවත් එය සංඛ්‍යාත්මකව 1,125 ක් සහ 1,045 ක් වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.  කළකොලාහල නිසා 4697 ක්, වැටිම් 279 ක් වශයෙන් වාර්තා වී ඇත. ගිණිකෙළි හේතුවෙන් අනතුරු අඩු වී තිබෙන බව ද එයට මාධ්‍ය ප්‍රචාරණ කටයුතු හේතු වී ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
 
එබැවින් ඉහත කරුණු පිළිබදව ද අවධානය යොමු කර හදිසි අනතුරු නිසා සිදුවන මිනිස් ජිවිත ආරක්ෂා කර ගැනීම සදහා ජනතාවගේ අවධානය යොමු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
විරාජ් අබේසිංහ  (මාධ්‍ය ලේකම්)
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය