සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

හම්බන්තොට දිස්ත්‍රික් නව මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කරන ලදි. 2019-07-02

හම්බන්තොට සහ නුවරඑළිය නව මහ රෝහල් ඉදිකිරීමේ ගිවිසුම්වල රාජ්‍ය මුදල් අපහරණය සුව ඇමැති හෙළි කරයි.

 

රාජ්‍ය මුදල් අපහරණය නතර කර හම්බන්තොට දිස්ත්‍රික් නව මහ රෝහල පිරිසිදුව නවීන පහසුකම්වලින් යුත් රෝහලක් ලෙස ජනතාවට දායාද කිරීමට යහපාලන රජයට හැකියාව ලැබුන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

 

නෙදර්ලන්තයේ සහන ණය ආධාර යටතේ යූරෝ මිලියන 46.8 ක් වැය කරමින් ඉදිකරන ලද හම්බන්තොට දිස්ත්‍රික් නව මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද (01) පස්වරුවේ විවෘත කරන ලදි.

 

ඇඳන් 850 කින් යුත් මෙම රෝහල, ශල්‍යාගාර 07 ක්, හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්, දැඩ් සත්කාර ඒකක, හෘද රෝග ඒකක, වෛද්‍ය හා හෙද නිල නිවාස, නවීන වෛද්‍ය උපකරණ, අතිනවීන සීටී ස්කැනර් යන්ත්‍රයකින් ද යුක්ත වෙයි.

 

පැවැති ජනහමුව අමතා අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “හම්බන්තොට නව මහ රෝහල 2016 වසරේ දී විවෘත කිරීමට නියමිතව තිබුනා. නමුත් සමහරු ප්‍රකාශ කළා අපි හදපු රෝහල වත්මන් රජයට විවෘත කිරීමේ නොහැකියාවක් පවතින බව. මෙම රෝහල ඉදිකිරීම සදහා 2011 ජුනි 21 දින ගිවිසුම් අත්සන් කළා. වැය කළ මුදල යුරෝ මිලියන 46.8 ක්. ඉදිකිරීම් කටයුතු 2012 ජුලි 16 ආරම්භ වුනා. වසර 03 කින් සාදා නිම කිරීමට සැළසුම් කර තිබුනා. 2015 වසරේ දී වත්මන් රජය බලයට පත්වන විට විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කළා මෙම රෝහලට ලබාදෙන වෛද්‍ය උපකරණ බාරගැනීමට නොහැකි බව. ඒ පිළිබදව මම එම වෛද්‍යවරුන්ට ස්තූතිය පුද කරනවා. මෙම වෛද්‍ය උපකරණ පිළිබදව සාකච්ඡා ආරම්භ කළා. කරුණූ 03 ක් යටතේ ගැටලු පැවැතුනා. වෛද්‍ය උපකරණ හැරුණූ විට අනෙකුත් උපකරණ පිළිබදවත් ගැටලු පැවැතුනා. ඉතා ඉහළ මිල ගණන් ඉදිරිපත් කර තිබුනේ පැරණි උපකරණ වලටයි. එම උපකරණ බාරගන්න මම සූදානම් වුනේ නැහැ. එම උපකරණ බාරගත්තා නම් අපිත් විත්තිකරුවන් වෙනවා. හම්බන්තොට සහ නුවරඑළිය නව මහ රෝහල් ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කිරීමට එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූයේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යවරයාටත් ඉහළින් තමයි එය සිදු වුනේ. මෙම උපකරණ වල මිලගණන් වෙන වෙනම ඉල්ලුවා. ගිවිසුම් අත්සන් කර තිබුනේ අවාසි සහගතවයි. කොන්දේසි ඉදිරිපත් කර තිබුනා. මේ පිළිබදව කොන්ත්‍රාත් සමාගමත් විශේෂඥ වෛද්‍යවරුත් සමග සාකච්ඡා පැවැත්වූවා. මම තීන්දු ලබාදුන්නත් ඒවා ක්‍රියාත්මක වුනේ නැහැ. සමාගම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළා. දැනට වෙළෙද පොලේ පවතින මිලට වඩා ඉහළ මිළක් සමාගම ඉදිරිපත් කළා. ගිවිසුම් අත්සන් කළ අය මේවා දන්නේ නැහැ. නමුත් සමාගම ගිවිසුමට අනුව කටයුතු කළා. ගිවිසුමක් අත්සන් කරන විට විශේෂ කොන්දේසි ඉදිරිපත් කරන්න බැහැ. මේ පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගත්තා. ඒ අනුව අමාත්‍යාංශය විසින් තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කළා. සාකච්ඡා පැවැත්වූවා. විශේෂඥ වෛද්‍යවරුන් උපකරණ බාරගන්න බැහැ කිවුවා. 2018 වසරේ ජුලි 05 දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පවත්වා මෙම ගැටලුව නිරාකරණය කළා. අවසානයේ එකග වූ මිල ගණන් වලට උපකරණ ලබාදුන්නා. එම සමාගම ඉදිරිපත් කර තිබූ මිල ගණන් දැනට වෙළෙද පොලේ පවතින මිල ගණන් වලට වඩා සියයට 60  ක් වැඩියි. අපි වරප්‍රසාද ලබාගත්තේ නැහැ. අපි ජනතා මුදල් ආරක්ෂා කළා. නමුත් අපිට පෙත්සම් ගහනවා. මේ රෝහලට නවීන උපකරණ ලබාදීම ගැන මම සතුටු වෙනවා. නවීන උපකරණ 54 ක් රෝහලට ලබාදෙනවා. මෙම රෝහලට ලබාදෙන සීටී ස්කැනර් යන්ත්‍රය මගින් පිටපත් 128 ක් ලබාගන්න පුළුවන්. අද ලංකාවේ තිබෙන නවීනතම සීටී ස්කැනරය තමයි හම්බන්තොට හා නුවරඑළිය මහ රෝහල්වලට ලැබෙන්නේ. මෙම රාජ්‍ය මුදල් අපහරණය හේතුවෙන් තමයි මෙම රෝහල විවෘත කිරීම ප්‍රමාද වුනේ. වත්මන් රජය රාජ්‍ය මුදල් අපහරණය නතර කර ජනතාවට අතිනවීන රෝහලක් ලබාදෙනවා. මෙම රෝහලත් නුවරඑළිය මහ රෝහලත් යහපාලන රජය පොරොන්දු අකුරටම ඉටුකළ ව්‍යාපෘති ලෙසයි මම දකින්නේ.”

 

“සෞඛ්‍ය සේවාව තුල නොමිලේ ස්ටෙන්ස් අක්ෂි කාච ලබාදීමට අපි කටයුතු කළා. පිළිකා රෝගීන්ට ජිවිතාන්තය දක්වා ප්‍රතිකාර ලබාදීමට මම පියවර ගත්තා. නමුත් පිළිකා ඖෂධ මිල අඩු කිරීම හේතුවෙන් අපට පෙත්සම් ගහනවා. පිළිකා ඖෂධ ලබාදීම සදහා ලියාපදිංචි කර තිබුනේ එක සමාගමක් පමණයි. ඇතැම් පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ට සමාගම් මගින් මුදල් ලැබුනා. පිළිකා ඖෂධ ආනයනය කර තිබුනේ රුපියල් දෙලක්ෂ අසූදහසකටයි. එය රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදහසකටත්, පසුව අනූපන්දහසක් දක්වාත් මිල අඩු කළා. මහකොල්ලයක් තිබුනේ. ස්ටෙන්ස් මිල, අක්ෂි කාච මිලත් අඩු කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හොරකම්, වංචා දූෂණ වැළැක්වූවා. වත්මන් ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ කාලේ ඉදිරිපත් කළ ඇතැම් කැබිනට් පත්‍රිකාවලට ද කැබිනට් මණ්ඩලයේ දී ලබාදුන් උත්තර හේතුවෙන් අසරණ වුනා. මම ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියා. නමුත් වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන්,  අග්‍රාමාත්‍යවරයාගෙන් කිසිදු බාධාවක් නැහැ. අවශ්‍ය තරම් මුදල් ලබාදෙනවා. වත්මන් රජයේ ප්‍රතිපත්ති නිසා තමයි මෙවැනි සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට හැකි වුනේ. 2019 වසරේ දී හම්බන්තොට ජනතාවට ඉතා පිරිසිදුව නවීන රෝහලක් ලබාදීමට අපට හැකියාව ලැබුනා.”

 

මෙහිදී හම්බන්තොට හෙද විද්‍යාලයේ ශිෂ්‍යාවන් විසින් නර්තනාංග ඉදිරිපත් කළ අතර, සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ඡෝන් ඩූනේ වාඩ් මහත්මිය ද මෙහිදී අදහස් පළ කරන ලදි.

 

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දීලීප් වෙදආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයින්, සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුලු අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, දකුණූ පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, හම්බන්තොට දිස්ත්‍රීක් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.ජී විඡේසුරිය මහතා ඇතුලු රෝහල් අධ්‍යක්ෂවරු, විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු එක්ව සිටියහ.

 
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය