සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

රුපියල් කෝටි 20 ක මුදලක් වැය කරමින් මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද “සුරක්ෂා ළමා සෙවන” ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම 2019-06-14

 

පිළිකා රෝගීන්ට කළ සේවාව නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්ට ද කොමිසන් හමුවේ සාක්ෂි දීමට සිදුව ඇති බව සුව ඇමැති පවසයි.

ඉතා මිල අධික පිළිකා ඖෂධ අඩු මිලට ලබාගැනීමේ තීරණය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුලු නිලධාරීන්ට කොමිසන් සභා හමුවේ සාක්ෂි දීමට සිදුව ඇති බවත්, එම තීරණයට විරෝධය පළ කර ඇතැම් වෛද්‍යවරුන් සහ ඖෂධ සමාගම් පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ අහිංසක දුප්පත් රෝගීන් දෙස අවධානය යොමු නොකරමින් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

 

රුපියල් කෝටි 20 ක මුදලක් වැය කරමින් මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද “සුරක්ෂා ළමා සෙවන ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (13) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “2017 වසරේ ඩෙංගු රෝගය උත්සන්න වූ විට මෙම රෝහල නිරික්ෂණ කිරීමට මමත් ජනාධිපතිවරයාත් පැමිණියා. එහිදී රෝගීන් දැඩි අසරණතාවයට පත්ව හිටියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසයි. හමුදාව විසින් තාවකාලික ගොඩනැගිලි ඉදි කළා. නමුත් එදා තිබූ තත්ත්වය අද වෙනස් වුනේ මෙල්වා සමාගම කළ මෙම සත්කාරය නිසයි. මෙම රෝහලේ මහල් 09 ක ගොඩනැගිල්ලක් මේ වනවිටත් මන්දගාමීව ඉදිවෙනවා. එය කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. නීතිරීති වලට යටත් වෙලා සෞඛ්‍ය ගොඩනගන්න බැහැ. බය නොවී තින්දු තීරණ ගත යුතුයි. නායකත්වය ගත යුතුයි.”

 

“බස්නාහිර පළාත් ආණ්ඩුකාර තුමා මෙම ස්ථානයේ දී බලය බෙදීම ගැන කථා කළා. බලය බෙදීම ගැන කථා කරලා ඇගේ බෝම්බ කෑලි තිබෙන එකම පුද්ගලයා මමයි. සිංහල හා ද්‍රවිඩ අන්තවාදීන්ගෙන් බෝම්බ ප්‍රහාර එල්ල වුනා. නමුත් මගේ ගමන කටින් ගහලා හෝ නතර කරන්න බැරි වුනා. බලය බෙදුවට දේශපාලන යථාර්තයක් තිබෙනවා. ජර්මනියේ, ඇමරිකාවේ බලය බෙදන අයුරින් ශ්‍රී ලංකාවේ බලය බෙදන්න බැහැ. දේශපාලන තීන්දු අරගෙන නිලධාරීන්ට උපදෙස් ලබාදිය යුතුයි. සෞඛ්‍ය සේවාවේ ගැටලුවක් ඇති වුවහොත් ජනතාව මධ්‍යම රජයේ ද, පළාත් සභා වල ද කියා බලන්නේ නැහැ. මම 2015 වසරේ සිට මේ දක්වා පළාත් සභා රෝහල් සංවර්ධනය කිරීමට විශාල මුදලක් වැය කර තිබෙනවා. දඹුල්ල රජමහා විහාරස්ථානය නව දඹුල්ල රෝහල ඉදිකිරිම සදහා ඉඩම ලබාදුන්නා. යාපනයේ ළමා රෝහල ඉදිකිරීම සදහා ඉඩම ලබාදුන්නේ කතෝලික පල්ලිය විසින්. ඒවාටත් විරෝධතා තිබෙනවා. මම මේ වනවිට රුපියල් කෝටි 55,000 ක පමණ සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය සේවාව තුල දියත් කර තිබෙනවා. පළාත් සභා වලට බලය බෙදුවට කමක් නැහැ. මම සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවේ දී මට බැන්න අයත් අද සිංගප්පූරුවෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. මිනිසා කැමැති තැනකින් ප්‍රතිකාර ලබාගැනීම ඔහුගේ අයිතියක්. සෞඛ්‍ය සේවාව පළාත් සභා වලට විමධ්‍යගත කිරීම තුලින් එය සංවර්ධනය නොකරන්නේ නම් අධ්‍යාපනය කඩාකප්පල් වූ ආකාරයට සෞඛ්‍ය සේවාවත් කඩාකප්පල් වෙනවා. අපි පළාත් සභා රෝහල් සංවර්ධනය කළ පසු ඒවා පාලනය කිරීමට පළාත් සභා වලට අමාරුයි. විදේශීය රටවල නම් රෝහල් සංවර්ධනයට මුදල් ලබාදෙන්නේ නැහැ. පෞද්ගලික අංශයේ රෝහල්වල රක්ෂණය මගින් ප්‍රතිකාර ලබාගත යුතුයි. පිළිකා ඖෂධ වෙළෙද පොළේ ඒකාධිකාරය බිද දැමීම නිසා මට විරෝධතා එල්ල වුනා. සමාගම්වල මුදල් වලට මට බනිනවා. සමාගම්වල අධික ලාභයට විරුද්ධව වැඩ කරන කොටත් විරෝධතා එල්ල වෙනවා. අපි යහපාලනය නිසා ප්‍රචාරක කටයුතු වලට මුදල් වැය කළේ නැහැ. එය වැරදි තීරණයක්. වත්මන් රජයේත් වැරදි තිබෙනවා. නමුත් නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීම තුලින් අහිංසක ජනතාව සතුටට පත් වෙනවා. අද පෝස්ටර් ඔසවාගෙන සිටින අයගෙන් කී දෙනෙකුට පුළුවන්ද හාද රෝගයක් ඇති වුවහොත් ස්ටෙන්ස් සැත්කම සදහා ලක්ෂ තුනහමාරක් වැය කරන්න. අපි ඖෂධ ජාවාරමත් නතර කළා.”

 

“පිළිකා ඖෂධ අඩු මිලට ලබාගැනීම සහ පිළිකා ඖෂධ මිල අඩු කිරීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුලු නිලධාරීන්ට කොමිසම හමුවේ සාක්ෂි දෙන්න සිදු වී තිබෙනවා. මෙම තීරණයට විරුද්ධ වෛද්‍යවරු සහ ඖෂධ සමාගම් තමයි පෙත්සම් ඉදිරිපත් කර තිබුනේ. එම පෙත්සම් තමයි කොමිසම හමුවේ විභාග වෙන්නේ. නමුත් අහිංසක ජනතාවට පිළිකා ප්‍රතිකාර ලබාගැනීමේ දී ලැබෙන වාසිය ගැන කවුරුත් බලන්නේ නැහැ. සෞඛ්‍ය සේවාව දියුණු කිරීමට කැපවීමෙන් සහ උනන්දුවෙන් වැඩ කරන හොද වෛද්‍යවරුන් ද ඉන්නවා.”

 

මෙහිදී මෙම වාට්ටු සංකීර්ණය බස්නාහිර පළාත් සභාවට බාරදීමේ ගිවිසුම මෙල්වා සමාගමේ සභාපතිවරයා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත බාරදෙන ලදි. තව ද මෙම කාර්යයට දායක වූ මෙල්වා සමාගමේ ප්‍රධානීන්ට සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සමරු තිළිණ ද ප්‍රදානය කිරීම විශේෂත්වයකි.

 

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඡේ.එම් මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, නිමල් ලන්සා, සෞඛ්‍ය  අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, රෝහල් අධ්‍යක්ෂවරුන්, ආයතන ප්‍රධානීන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සියලුම කාර්ය මණ්ඩලය, මෙල්වා සමාගමේ සභාපති ආනන්ද මුරුගනාදන් මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය