සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූවන් 211 ක් රෝහල් 05 ක තවමත් නේවාසික ප්‍රතිකාර ලබයි. මළ සිරුරු බාරදීම සියයට 85 ක් අවසන් 2019-04-24


දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූවන් 211 ක් තවදුරටත් රෝහල් 05 ක නේවාසිකව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.


කොළඹ ජාතික රෝහලේ රෝගීන් 111 ක්, මඩකළපුව මහ රෝහලේ රෝගීන් 57 ක්, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ රෝගීන් 30 ක්, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ රෝගීන් 11 ක්, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රෝගීන් 02 ක් මේ වන විට ප්‍රතිකාර ලබයි. මෙම රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 37 කි.


බෝම්බ පිපිරිම් වලින් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු ඥාතීන් වෙත බාරදීම සියයට 85 ක් අවසන් කර ඇති බව සෞඛ්‍ය, සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි. මඩකළපුව මහ රෝහලට ගෙන ඒනු ලැබූ මළ සිරුරු 26 ම ඥාතීන්ට බාර දී අවසන් කර ඇත. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට මළ සිරුරු 102 ක් ලැබුන අතර, අද (23) උදෑසන  වන විට මළ සිරුරු 101 ක් ඥාතින් වෙත බාර දී තිබුනි. උතුරු කොළඹ ශික්ෂණ රෝහලට මළ සිරුරු 07 ක් ලැබී තිබූ අතර, ඉන් 05 ක් මේ වනවිට බාර දී ඇත. තවත් මළ සිරුරු 02 ක් මෙතෙක් කිසිවෙකු හදුනාගෙන නොමැත. දකුණූ කොළඹ ශික්ෂණ රෝහලට මළ සිරුරු 03 ක් ලැබුන අතර, ඉන් 02 ක් මේ වනවිට බාරදී ඇත. අනෙක් මළ සිරුර විදේශීය ජාතිකයෙකුගේ වෙයි. කොළඹ ජාතික රෝහලට මළ සිරුරු 147 ක් ලැබී තිබූ අතර මළ සිරුරු 78 ක් මේ වනවිට ඥාතීන්ට බාර දී ඇත. තවත් මළ සිරුරු 69 ක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ශිතාගාරවල තැන්පත් කර ඇත. එම මළ සිරුරු වලින් කිහිපයක් විදේශීය ජාතිකයින්ගේ වෙයි. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මළ සිරුරු තැන්පත් කර තිබූ ජංගම ශිතාගාරයක් කොළඹ ජාතික රෝහලට ගෙනවිත් ඉතිරි වී ඇති මළ සිරුරු තැන්පත් කර ඇත.