සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

නවීන ගිලන් රථ 118 ක් සුව ඇමැති අතින් රෝගී සත්කාරක සේවාවට. 2019-04-11

නවීන ගිලන් රථ 118 ක් සුව ඇමැති අතින් රෝගී සත්කාරක සේවාවට.

 

“අද දින ලබාදෙන ගිලන් රථ අයිති සෞඛ්‍ය අමාත්‍යාංශයටයි. මට වාර්තා වෙලා තිබෙනවා පළාත් වල ඉන්න දේශපාලනඥයින් උත්සව තියලා තමන් දෙනවා වාගේ ගිලන් රථ බෙදා දෙන්න සුදානමින් සිටින බව. මම කියන්න කැමැතියි අනුන්ගේ මගුල් ගෙදර කෑම බෙදන්න එපා කියලා. බෙදනවා නම් තමන්ගේ මගුල් ගෙදර කෑම බෙදන්න. මොකද මම නම් අනුන්ගේ කෑම බෙදන්න යන්නේ නැහැ.” එවැනි පහත් තත්ත්වයට වැටෙන්න එපා යැයි මම පළාත්වල සිටින දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

 

දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 118 ක් සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් අද (11) පෙරවරුවේ බෙදා දෙනු ලැබුනි. ඒ කොළඹ මහ නගර සභා භූමියේ දී ය.

 

ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් මෙහිදී බෙදා දෙන ලදි.  එක් ගිලන් රථයක වටිනාකම රුපියල් අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි.

 

මෙම උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නවීන ගිලන් රථ 118 ක් අද රෝහල්වලට බෙදා දෙනවා. මීට පෙර ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 132 ක් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 60 ක් බෙදා දෙනු ලැබුවා. තවත් බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. 2015 වසරෙන් පසු වත්මන් රජය විසින් රේඛීය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් 42 කට සහ පළාත් සභා රෝහල් 203 කට ගිලන් රථ ලබා දී තිබෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවට ගිලන් රථ 05 ක් ද, නව ජන්ම ළදරු ඒකක සේවාව සදහා ගිලන් රථ 10 ක් ද මෙවර ලබාදෙනවා. නව ජන්ම ළදරු ඒකක ගිලන් රථ සේවාව 2015 වසරින් පසු ආරම්භ කළේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමගයි. පුහුණුව ලත් වෛද්‍යවරුන්, හෙද හෙදියන් එම ගිලන් රථ සේවාව සමග ඒකරාශී වී සිටිනවා. මෙම බෙදා දෙනු ලබන ගිලන් රථ ලබාගන්න වෛද්‍යවරුන්ට, රෝහල් අධ්‍යක්ෂවරුන්ට එන්න එපා කියලා පළාත් දේශපාලන බලධාරීන් බලපෑම් කර තිබෙනවා. පළාත් සභා සෞඛ්‍ය බලධාරීන්ට පමණක් ඒවා බාරගන්න කියා දැනුම් දී තිබෙනවා. නමුත් අද දින රෝහල් අධ්‍යක්ෂවරුන්ට ගිලන් රථ ලබාදෙන අතර, අනෙකුත් ගිලන් රථ එක් එක් පළාත්වල මැතිඇමැතිවරුන් සමග ඒකාබද්ධව බෙදාදීමට නව වැඩපිළිවෙළක් සකස් කරනවා. රාජකාරීමය වශයෙන් පමණක් අද ගිලන් රථ අධ්‍යක්ෂවරුන්ට ලබාදෙනවා.”

 

“2015 වසරින් පසු අපි ලබාදුන්නේ නියම ගිලන් රථ. නව ගිලන් රථ 450 ක් රෝහල්වලට බෙදා දෙනවා. ජර්මනියේ නිෂ්පාදිත ෆෝර්ඩ් වර්ගයේ සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ බෙදා දෙන අතර, මෙම ගිලන් රථ නියම ගිලන් රථ බව ද ප්‍රකාශ කළ යුතුයි. මීට පෙර ජපානයේ නිෂ්පාදිත වෑන් රථ වලට උපකරණ සවිකර ගිලන් රථ විදිහට භාවිත කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය ගිලන් රථ මිලදී ගැනීමේ දී අදාල ටෙන්ඩරය ලබාදී ඇත්තේ ද එවැනි ගිලන් රථ ආනයනය කරන සමාගමටයි. මෙවරත් එම ගනුදෙනුව සිදු කරන්න උත්සාහ කළත් එය ව්‍යර්ථ වුනා. ෆෝර්ඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ මුළු ලෝකයම භාවිත කරනවා. ජපානයේ වෑන් රථ වලට උපකරණ සවිකර නිෂ්පාදනය කරන ගිලන් රථ වලට වැය කරන මුදලින් ෆෝර්ඩ් වර්ගයේ ගිලන් රථ 22 ක් ලබාගන්න පුළුවන්. එවැනි අධික මිලකට තමයි මීට පෙර ගිලන් රථ ලබාගෙන තිබුනේ. මෙම ගසාකෑම මම නතර කළා. නියම ගිලන් රථ ලබාදීමට තීන්දු කළා. මෙම ගිලන් රථ ඉතාම ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න. රෝගීන් වෙනුවෙන් පමණක් භාවිත කරන්න. වෙන ගමන් යන්න එපා. ඔස්ට්‍රියානු ණය ආධාර යටතේ තවත් බෙන්ස් වර්ගයේ ගිලන් රථ 40 ක් ඉදිරියේ දී බෙදා දෙනවා. හොද ගිලන් රථ සේවාවක් ආරම්භ කිරිම මගේ අරමුණයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරීමය කටයුතු සදහා දෛනිකව භාවිතා කරන සාමාන්‍ය රථ වසර 15 ක් 20 ක් පැරණි ඒවා. ඒවා වෙනුවට නව සාමාන්‍ය රථ 450 ක් මිල දී ගෙන සෞඛ්‍ය ප්‍රවාහන සේවාව ද විධිමත් කරනවා. මෙමගින් රෝගීන්ට අවශ්‍ය සියළුම පහසුකම් කඩිනමින් ලබාදීම මගේ අරමුණයි.”

 

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් නිමල් බාලසූරිය, අතිරේක ලේකම්වරුන් වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ගීතාමනී කරුණාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුලු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ප්‍රවාහන අධ්‍යක්ෂ මනෝඡ් කරුණාරත්න, රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.