සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

එළවළු පළතුරු සහ පොල්තෙල් වල ගුණ අගුණ පිළිබද පර්යේෂණ අවසන්. ඉදිරියේ දී ජනතාව දැනුවත් කරන බව සුව ඇමැති කියයි 2019-04-03


එළවලු පළතුරු සහ පොල්තෙල් වර්ගවල අඩංගු සංඝටක සහ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබදව පර්යේෂණ සිදු කර අවසන් වී ඇති බැවින් ඒ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) දහවල් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සතිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විනි. අප්‍රේල් මස 01 සිට 07 දක්වා ආහාර සුරක්ෂිතතා සතිය ක්‍රියාත්මකයි.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසයේ දී  ද, නත්තල් හා අළුත් අවුරුද්ද වෙනුවෙන් දෙසැම්බර් මාසයේ දී ද ආහාර සුරක්ෂිතතා සති සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කරනවා. මෙවර තේමාව වන්නේ ““සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු යන්නයි.” මෙම සතිය තුල දී සදුදා, අගහරුවාදා සහ බදාදා යන දිනවල දී ආහාර පරිහරණ කරන ආයතන, ආහාර කර්මාන්ත, හෝටල්, බේකරි, සිල්ලර කඩ, තේ කඩ, සුපිරි වෙළෙදසැල් පරික්ෂා කිරීමට නියමිතය. බ්‍රහස්පතින්දා දිනවල රජයේ ආයතන, දුරගමන් සේවා බස් රථ නැවතුම් ආපන ශාලා, කර්මාන්ත ශාලා ආපන ශාලා, රාත්‍රී කඩ, වීදි කඩ පරීක්ෂා කිරීමට නියමිත අතර, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල දී සෞඛ්‍ය ආයතන, වෙනත් රජයේ ආයතන, පාසල් සහ ප්‍රජාව දැනුවත් කිරීමට නියමිතය. මෙම සතිය තුල දී භාවිතයට නුසුදුසු ආහාර සොයාගත් පසු ඒවා විනාශ කිරීමටත්, නීතිමය පියවර ගැනීමටත් කටයුතු යොදා ඇත. වෙළෙද සැල් හිමියන් සහ ආහාර පරිහරණය කරන්නන් දැනුවත් කරන අතර, පාරිභෝගිකයාට සුරක්ෂිතව ආහාර පිළිගැන්වීම ද ක්‍රියාත්මක වෙයි. මෙහිදී ආහාර අතින් නොඅල්ලා කිසියම් උපකරණයකින් පාරිභෝගිකයාට ලබාදිය යුතු වෙනවා. හෝටල් සහ ආපන ශාලා ශ්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී තවත් නීති රීති ගෙනඒමට අපි තීරණය කර තිබෙනවා.”


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා - “ජනතාව සවිබල ගැන්වීමක් මෙහිදී සිදු කරනවා. විෂබීජ ආහාර හා ගැටීම නතර කළ යුතුයි. රෝහල් වල දී විෂබීජ පැතිරයාම වැළැක්වීම සදහා සේවකයින් ඉතා හොදින් සබන් යොදා අත් සොදා ගන්නවා. ආහාර කර්මාන්තයෙන් සියයට 60 ක් පමණ ලාභ තිබෙනවා. එම නිසා නිවැරදිව ආහාර ලබානොදෙන ආයතන ප්‍රතික්ෂේප කළ යුතුයි. එම කර්මාන්තකරුවන් ද මේ පිළිබදව දැනුවත් කර තිබෙනවා. මෙහිදී පාරිභෝගික ජනතාව සවිබලගැන්වීම තමයි ඉතාම වැදගත් වන්නේ.”


නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් (ආහාර සුරක්ෂිතතා) – “අපේ රටේ ජනතාව ආහාර භාවිතයේ දී සුදුසු හා නුසුදුසු බව පරීක්ෂා කර බැලිය යුතුයි. රටට ආනයනය කරන ආහාර වරායේ දී විධිමත් පරීක්ෂාවකට ලක් කරනවා. එම ආහාර වල විෂ වර්ග බැර ලෝහ වර්ග තිබෙනවා ද කියා පරීක්ෂා කරනවා. අපේ අධීක්ෂණයකින් තොරව ආහාර ලංකාවේ ඇතුලට එන්නේ නැහැ. ආහාර වල කෘමිනාශක අඩංගු දැයි පර්යේෂණ සිදු කර තිබෙනවා. එවැනි ආහාර පරික්ෂා කර අත්අඩංගුවට ගැනීම සදහා ඖෂධ හා ආහාර පරික්ෂකවරුන්ට ද කෘෂි රසායන පනත යටතේ නීතිමය අවසර ලැබී තිබෙනවා. වස විසෙන් තොර ආහාර ජනතාවට ලබාදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක්. එම සංකල්පය යාවත්කාලීන කිරිම තමයි අපි විසින් සිදු කරන්නේ. ආහාර පරීක්ෂා කිරීමේ බලය ලත් නිලධාරින් ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 1600 ක් දිවයින පුරා ක්‍රියාත්මකයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350 ක වෛද්‍ය නිලධාරීන් සහ ආහාර හා ඖෂධ පරික්ෂක නිලධාරින් ද මෙම සතිය තුල දී පරීක්ෂා කිරිම් සහ නීතිය ක්‍රියාත්මක කිරිම් සිදු කරනවා.”


මෙම අවස්ථාවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ පාලිත කරුණාප්‍රේම මහතා ද එක්ව සිටියේය.