සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

නව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 103 ක් සීමාවාසික පුහුණුවට අනුයුක්ත කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරිම 2019-03-27

 

නව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 103 ක් සීමාවාසික පුහුණුවට අනුයුක්ත කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය පිළිබදව මෙලෙස අදහස් පළ කළේය.

 

“බුදුරජාණන් වහන්සේ දේශණා කළේ ගිලනුන්ට උපස්ථාන කරන්න කියලා. නමුත් අද දින භික්ෂූන් වහන්සේ නමක් නායකත්වය ලබාදෙන හෙද සංගමය වැඩවර්ජනයක නිරත වෙනවා. උන්වහන්සේ බුදුදහමටත් පිටුපා තමයි වර්ජනය කරන්නේ. මෙම වර්ජනය දේශපාලන වර්ජනයක්. රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ වර්ජනය අසාධාරණයි කියලයි. ජනතා විමුක්ති පෙරමුණේ හෙද සංගමයත් වර්ජනය අසාධාරණ බව ප්‍රකාශ කරනවා. නමුත් භික්ෂූන් වහන්සේ නමක් නායකත්වය ලබාදෙන සංගමය වර්ජනය කරනවා.”

 

“අපි වෘත්තීය ගරුත්වය ආරක්ෂා කළ යුතුයි. සෞඛ්‍ය වැඩවර්ජන සිදු කිරීමේ දී දේශපාලනය සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න පුළුවන්. අපි වෘත්තීය සමිති ව්‍යාපාර වල නිරත වන විට සියලු දෙනා සමග සාකච්ඡා කරලා තමයි තීන්දු තීරණ ලබාගත්තේ. හිටපු ජනාධිපති ඡේ.ආර් ජයවර්ධන මහතාගේ කාලයේත් අපි වර්ජන දියත් කළා. නමුත් හිටපු ජනාධිපතිවරයා සහ අපි දේශපාලන මිතුරන් වුනා. හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා අවංකම වෘත්තීය සමිති නායකයා රාජිත සේනාරත්න බව. අපි වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගනිමින් තමයි වර්ජන වල නිරත වුනේ. සටන් කිරීමේ දී සටන සාධාරණ විය යුතුයි. එහි තීන්දුව ලෝකය තින්දු කරයි. අපේ ලෝකවල සිට සටන් කරන්න බැහැ. මමත් අතීතයේ මගේ ලෝකයේ සිට සටන් කළා. නමුත් වර්තමානයේ තිබෙන ලෝකය දෙස බලා සටන් කළ යුතුයි. සටන් වලින් ඉල්ලීම් දිනාගන්නේ සාකච්ඡා මාර්ගයෙන්. යහපාලන රජය ඒ සදහා අවස්ථාව උදාකර දී තිබෙනවා. ස්වාධීන කොමිසන් සභා ස්ථාපිත කරමින් සාධාරණත්වය ඉටු කරනවා. ඒවාගේ අඩුපාඩු තිබුනත් නිසි අයුරින් ගමන් කරනවා.”

 

“වර්තමානයේ රෝගී අයිතිවාසිකම් පිළිබද සංවිධානයක් බිහි වී තිබෙනවා. එහි ප්‍රඥප්තියට අත්සන් කිරීමට මට ආරාධනා කළා. වර්ජන වලට මුහුණ දීමට 03 වන පෙරමුණක් ලෙස ඔවුන් කටයුතු කරනවා. ජනතාව හැමදාම ඉවසන්නේ නැහැ. සංවිධාන ගත වෙනවා.”

 

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය ලේකම් නිමල් බාලසූරිය, අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දන්ත සේවා ආනන්ද ජයලාල් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, පත්වීම් ලාභීන් සහ දෙමාපියන් එක්ව සිටියහ.