සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

බිස්කට් සහ රසකැවිලි සදහා අප්‍රේල් 02 දා සිට නව වර්ණ සංකේත ක්‍රමයක් 2019-03-19

Read More >>>


බිස්කට් සහ රසකැවිලි සදහා අප්‍රේල් 02 දා සිට නව වර්ණ සංකේත ක්‍රමයක්.

 

ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර වල අඩංගු සීනි, තෙල් සහ ලුණු සදහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02 දා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

 

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - 2016 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කළා. එහිදී ප්‍රධාන පෙළේ බහුජාතික පැණිබීම සමාගම් සීනි භාවිතය සියයට 10 කින් අඩු කිරීම ප්‍රගතිශීලී පියවරක්. 2018 වසරේ සිට පැණිබීම වර්ගවල සෑම සීනි ග්රැමයකටම සත 50 ක බද්දක් අය කළා. මේ නිසා පැණිබීම වෙළෙදාම අඩු වූ නිසා සීනි රහිත බීම වෙළෙදපොලට හදුන්වා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය විසින් 2018 වසරේ සිට බිස්කට් සහ රසකැවිලි සදහා ද වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබදව තොරතුරු රැස් කළා. බිස්කට් සහ රසකැවිලි කර්මාන්තය සංවිධානාත්මක කර්මාන්තයක්. තවත් අතකින් සුළු පරිමාණ මට්ටමින් රසකැවිලි නිෂ්පාදකයින් ද සිටින නිසා එය විශාල ජාලයක් වී තිබෙනවා. සංවිධානාත්මක රසකැවිලි නිෂ්පාදන සමාගම් විසින් වසරකට අලෙවි කරන බිස්කට් තොගය ටොන් 80,000 ක් වෙනවා. එහිදී සීනි භාවිතය අඩු කළ යුතුයි. මේ පිළිබදව එම නිෂ්පාදකයින් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අපේ රටේ දේශීය නිෂ්පාදන කර්මාන්තයක් වන බිස්කට් නිෂ්පාදකයින් රටවල් 55 කට සිය නිෂ්පාදන අපනයනය කරනවා. එම නිසා ජාත්‍යන්තරයත් පිළීගන්නා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වාදීමට ඔවුන් එකගතාවයට පැමිණියා. එම නිසා තමයි සීනි පරිභෝජනය අඩු කිරීමේ වැඩපළිවෙලට එම සමාගම් දායකත්වය දක්වන්නේ. මෙම නීතිය අප්‍රේල් මස 02 දින සිට ක්‍රියාත්මකයි. බිස්කට් සහ රසකැවිලි වල සීනි, ලුණු, මේදය සදහා වර්ණ සංකේත ක්‍රියාත්මක කරන අතර භාෂා ත්‍රිත්වයෙන් ද කරුණු ඉදිරිපත් කළ යුතුයි. බිස්කට් වර්ග සහ රසකැවිලි වල ඒවා අඩංගු ප්‍රමාණ ද සටහන් විය යුතුයි. 2016 වසරේ පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කළ විට වැඩි ප්‍රචාරයක් තිබුනේ නැහැ. නමුත් එහි බලපෑම පිළිබදව 2018 වසරේ සිදු කළ සංගණනයකට අනුව පාසල් දරුවන් සියයට 58 ක් වර්ණ සංකේත ක්‍රමය පිළිබදව අවබෝධයෙන් සිටියා. පැණිබීම මිල දී ගැනීමේ දී පාසල් දරුවන් සියයට 38 ක් වර්ණ සංකේත ක්‍රමය කෙරෙහි අවධානය යොමු කර තිබුනා. නමුත් මෙවර අපි වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රචාරක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරනවා. බෝ නොවන රෝග වලින් ජනතාව බේරා ගැනීම සදහා තමයි මෙම පියවර ගනු ලබන්නේ. මැලේරියා, බරවා, රුබෙල්ලා මවගෙන් දරුවාට වැළදෙන පිටගැස්ම යන රෝග අපි තුරන් කර තිබෙනවා. 2019 වසරේ දී මහගෙන් දරුවාට වැළදෙන එච්.අයි.වී රෝගය පාලනය කිරීමටයි අපි සැළසුම් සකස් කොට ඇත්තේ. ඩෙංගු, ක්ෂය රෝගය සහ ඒඩ්ස් රෝගය ද මෙරටින් තුරන් කිරීමට අපි පියවර රැසක් ගෙන තිබෙනවා.

 

විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා - නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අහාර පාලන) සෞඛ්‍ය අමාත්‍යාංශය.

 

බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පියවර ගනු ලබන්නේ. විශේෂයෙන්ම හාදයාබාධ සහ පිළිකා ඇතුලු තවත් රෝගාබාධ රැසකට බලපාන රෝග කාරක වන සීනි, තෙල් සහ ලුණූ භාවිතය අවම කළ යුතුයි. ඝණ ආහර සහ අර්ධ ඝණ ආහාර වල සීනි, තෙල්, ලුණූ සදහා වූ වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබදව තොරතුරු මෙලෙස ඉදිරිපත් කරනවා. සෑම ග්රැම් 100 කටම සීනී ග්රැම් 22 කට වැඩි නම් රතු ලේබලය ද, සෑම සීනි ග්රැම් 100 කටම ග්රැම් 8 සිට 22 දක්වා කහ ලේබලය ද, සෑම සිනී ග්රැම් 100 කටම ග්රැම්  08 ට අඩු නම් කොළ ලේබලය ද බිස්කට් සහ රසකැවිලි වල ප්‍රදර්ශණය කළ යුතුයි. ලුණු භාවිතය සදහා වූ රෙගුලාසි යටතේ සෑම ග්රැම් 100 කම ලුණු ග්රැම් 1.25 කට වඩා අඩංගු නම් රතු ලේබලය ද, සෑම ග්රැම් 100 කම ලුණු ග්රැම් 1.25 සිට 2.5 දක්වා අඩංගු නම් කහ ලේබලය ද, සෑම ග්රැම් 100 කම ලුණු ගැරැම් 2.5 කට අඩු නම් කොළ පැහැති ලේබලය ද ප්‍රදර්ශණය කළ යුතු වෙනවා. මේදය සදහා වූ රෙගුලාසි යටතේ සෑම ග්රැම් සියයකම මේදය ග්රැම් 17.5 කට වඩා වැඩි නම් රතු ලේබලය ද, සෑම ග්රැම් 100 කටම ග්රැම් 3 සිට 17.5 දක්වා අඩංගු නම් කහ ලේබලය ද , සෑම ග්රැම් 100 කටම මේදය ග්රැම් 03 කට වඩා අඩු නම් කොළ ලේබලය ද ප්‍රදර්ශණය කළ යුතුයි. සීනි, මේදය සහ ලුණු අඩංගු ප්‍රතිශත ද බිස්කට් සහ රසකැවිලි වල ප්‍රදර්ශණය කළ යුතුයි. කිරි, එළවළු, පලතුරු, සහල්, කුඩා වර්ගයේ පැකට්ටු තුල ඇති ආහාර, තේ, කෝපි, වතුර බෝතල්, වෛද්‍යවරුන් විසින් නියම කරන ආහාර, විශාල ප්‍රමාණයේ ආහාර අසුරණ, ළදරු කිරි ආහාර සදහා මෙම රෙගුලාසි ක්‍රියාත්මක වන්නේ නැහැ.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා.

 

2016 වසරේ සිට බෝනොවන රෝග ක්ෂේත්‍රය තුල විප්ලවීය වෙනසක් සිදුව තිබෙනවා. රෝග පාලනය කිරිම සදහා ගතහැකි සෑම පියවරක්ම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගෙන තිබෙනවා. මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූවා නම් එම රෝගීන් ජීවිතක්ෂයට පත් වෙලා. නව වැඩපිළීවෙල හේතුවෙන් ආයු අපේක්ෂාව ද වැඩි වී තිබෙනවා. බෝනොවන රෝග පාලනය කිරිම තුලින් ආර්ථික වාසියක් ද හිමි වෙනවා. මූල්‍ය සම්පත් ඉතිරි වෙනවා. බිස්කට් සහ රසකැවිලි සදහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මහජන සෞඛ්‍යයට අදාල කරුණක්.

ශ්‍රී ලංකා බිස්කට් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සූර්යකුමාර මහතා.

 

බිස්කට් සහ රසකැවිලි සදහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබදව වසර 02 ක් පුරා සාකච්ඡා පැවැත්වූවා. ව්‍යාපාරික ප්‍රජාව ලෙස අපට අවාසියක් සිදු වූවත්, ජනතාව දෙස බලා මෙම තීරණයට එකඟ වුනා. දේශීය බිස්කට් නිෂ්පාදකයින් 25 ක් පමණ සිටින අතර, ඔවුන් වාර්ෂිකව ටෙට්ට්‍රික් ටොන් 80,000 ක් පමණ වෙළෙදපොලට නිකුත් කරනවා. වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීම ජාතික අවශ්‍යතාවයක්. ව්‍යාපාර පවත්වාගෙන යාමට පාරිභෝගිකයින් අත්‍යාවශ්‍යයි. නමුත් අනාගත දරු පරපුර සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් බවට පත් කිරීම සදහා නව වැඩපිළීවෙල ක්‍රියාත්මක කළ යුතු බව අපගේ පිළිගැනීමයි. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ආරම්භ කළ මෙම වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙනවා.

 

ශ්‍රී ලංකා බිස්කට් නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජික අශෝක බණ්ඩාර මහතා.

 

රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල දියත් කරනවා. හොද ව්‍යාපෘතියකට අපි සහයෝගය ලබාදෙනවා. බේකරි හිමියන්ගේ සංගමය, ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය සහ කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ ආහාර පාන කමිටුව සමගත් අපි සාකච්ඡා කළා. ඉන් පසු මෙම සුබවාදී තීරණයට එළැබුනා. බිස්කට් සහ රසකැවිලි අපනයනය කිරිම තුලින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක් රටට ලැබෙනවා. එම අදායම තවත් වැඩි කළ යුතුයි. අප සතුව දැනට පවතින ඇසුරුම් තොග අවසන් වූ පසු නව නිෂ්පාදන වෙළෙදපොලට ඉදිරිපත් කරනවා. බුද්ධිමත් ජනතාව සුබවාදීව සිතා නව නිෂ්පාදන මිල දී ගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

 

මෙම මාධ්‍ය හමුවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ආහාර පාලන) වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත්, එම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සපුමල් ධනපාල, බිස්කට් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සූරියකුමාර මහතා, රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුත්තයියා සීදරන් මහතා, බිස්කට් නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජික අශෝක බණ්ඩාර මහතා ඇතුලු බිස්කට් සහ රසකැවිලි නිෂ්පාදන සමාගම් වල නිලධාරීන් එක්ව සිටියහ.  

 

මේ සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආහාර පාලන විශේෂඥ වෛද්‍ය  ලක්ෂ්මන් ගම්ලත් මහතා විසින් මෙම මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළ වාර්තාවක් ද යොමු කර ඇත.