සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

"සෞඛ්‍ය සේවා දියුණූ කිරීමට දකුණට සමාන මුදලක් උතුරටත්" - සුව ඇමැති කියයි. 2019-02-15

 

"සෞඛ්‍ය සේවා දියුණූ කිරීමට දකුණට සමාන මුදලක් උතුරටත්" - සුව ඇමැති කියයි.

 

වත්මන් රජය යටතේ දකුණට හා සමානව උතුරු පළාතට ද සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීම සදහා විශාල මුදලක් වැයකර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

 

ලෝක බැංකු ආධාර යටතේ යාපනය ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ පළමු අදියර අද (14) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විනි.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “නෙදර්ලන්ත ආධාර යටතේ කොළඹ ජාතික රෝහලේ ඉදිකළ හදිසි අනතුරු ඒකකය පමණයි අපට මෙතෙක් කල් තිබුනේ. වත්මන් රජය යටතේ දිවයින පුරා හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකක 24 ක් ස්ථාපිත කරනවා. මෙතෙක් කල් මහරගම අපේක්ෂා රෝහලින් පමණයි පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදු කෙරුනේ. මේ වන විට පිළිකා රෝහල් 06 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. ළමා රෝහල් 10 ක් හා මාතෘ රෝහල් 12 ක් ඉදිකරනවා. යුරෝපා සංගමයේ රට වලින් ඒ සදහා ආයෝජකයින් ඉදිරිපත්ව ඇති අතර, යුරෝපීය රටවල රෝහල් මෙන් නවීන රෝහල් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. හම්බන්තොට, මාතර, ගම්පහ, මාතලේ, මහනුවර, ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවල නව රෝහල් ස්ථාපිත කරනවා. සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ගැටලුව විසදීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය සමග ඒකාබද්ධව පියවර ගෙන තිබෙනවා. වෛද්‍යවරුන් වැඩි වශයෙන් බිහි කිරීම සදහා වයඹ, සබරගමුව සහ මොරටුව යන විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ස්ථාපිත කරනවා. පානදුර ප්‍රදේශයේ නව රෝහලක් ස්ථාපිත කරන අතර, ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 22000 ක්. කරාපිටිය වෛද්‍ය පීඨයට බදවා ගන්නා සිසුන් සංඛ්‍යාව 300 දක්වා වැඩි කර තිබෙනවා. නමුත් ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කරනවා සෞඛ්‍ය පෞද්ගලීකරණය කරනවා කියලා. කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව හෙද පීඨයක් ස්ථාපිත කරන අතර, මුල්ලේරියාව ප්‍රදේශයේ හෙද නේවාසිකාගාරයක් ද ස්ථාපිත කරනවා. ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 18000 ක්. හෙද විද්‍යාල 05 ක් සංවර්ධනය කරන අතර, එමගින් හෙද හිඟය මඟහැරවීම සදහා හෙද හෙදියන් වැඩි වශයෙන් බිහි කිරීමට පියවර ගෙන තිබෙනවා. ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය ප්‍රතිලාභ සියයට සියයක් නිවැරදිව ලබාදීම මගේ අරමුණයි. පිළිකා රෝගීන් සදහා රුපියල් ලක්ෂ 15 ක තිබූ ප්‍රතිකාර සීමාව ඉවත් කර තිබෙනවා. පිළිකා රෝගීන් සදහා රුපියල් දෙලක්ෂ අසූපන්දහසකට තිබූ එන්නතක් වෙනුවට නව එන්නත් හදුන්වා දෙමින් එන්නත් සදහා වැය කළ මුදල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය කාලයේ පිළිකා ඖෂධ ආනයන සමාගම් වලට විශාල මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙවා තිබෙනවා. නොමිලේ ස්ටෙන්ස් අක්ෂි කාච ලබාදෙන අතර විවිධ සැත්කම් ආරම්භ කර තිබෙනවා. මහනුවර මහ රෝහලට අනුබද්ධව තැලසීමියා වාට්ටු සංකීර්ණයක් ඉදිකරන අතර, එය අප්‍රේල් මාසයේ දී විවෘත කිරීමට නියමිතයි. ශ්‍රව්‍යාබාධිත දරුවන් වෙනුවෙන් සිදු කරන සැත්කම් ආරම්භ කළ අතර, එවැනි සැත්කමක් විදේශීය රටක දී සිදු කිරීමේ දී රුපියල් ලක්ෂ 35 ක් වැය වෙනවා. මේ වන විට දරුවන් 677 කට මෙම සැත්කම සිදු කර තිබෙනවා. අවයව බද්ධ කිරීම් ආරම්භ කළ අතර, මේ වන විට වකුගඩු බද්ධ කිරීම් 400 කට වැඩි සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා.”

 

“හොදම සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වන්නේ වත්මන් රජය යටතේයි. අපි රුපියල් සත වලින් නොව මනුෂ්‍යත්වයෙන් රෝගීන් දෙස බලනවා. හොදම සෞඛ්‍ය සේවාවක් ලංකාවේ ස්ථාපිත කිරීම මාගේ අරමුණයි. දකුණට මෙන් උතුරට ද සෞඛ්‍ය සේවාවන් සදහා වැඩි මුදලක් ලබාදී තිබෙනවා. පසුගිය රජය සමයේ එවැනි මුදලක් වෙන් කළේ නැහැ. රජය තුල ප්‍රශ්න තිබුනත් වර්තමානයේ උතුරේ පැහැරගැනීම්, මනුෂ්‍ය ඝෘතන සිදු වන්නේ නැහැ. උතුරේ ජනතාව ඇතැම් අවස්ථාවල දී විරෝධතා දක්වනවා. මම එම විරෝධතා දැකලා සතුටු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ලැබී තිබීම හේතුවෙන්. දෙමළ ජාතික සන්ධානයට උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසදා ගැනීමට වර්තමානයේ හැකියාව ලැබී තිබෙනවා. ඒ සදහා ජාතිවාද, ආගම්වාද නොමැති නායකයෙකු අග්‍රාමාත්‍යධූරයට පත්ව සිටිනවා.”

 

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, සාගල රත්නායක, අකිල විරාඡ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඡේ.සී අලවතුවල, විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. සුමන්තිරන්, මාවිසේනාධිරාජා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, පොලිස්පති පූජිත් ජයසුන්දර, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.