සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

වත්මන් රජය තුලින් අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් - සුව ඇමැති කියයි 2019-02-14

 
වත්මන් රජය යටතේ අංග සම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
 
ලෝක බැංකුවේ ආධාර මත ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය පිළිබදව ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිනමා ශාලාවේ දී ඊයේ (12)දහවල් මෙම සම්මන්ත්‍රණය පැවැත්විනි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “යහපාලන රජය මගින් අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට හිමිකර දී තිබෙනවා. වත්මන් රජය ධනපති රජයක් බව ප්‍රකාශ කළත්, ධනපති රජයෙන් දුප්පත් ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් විධිමත්ව ලබාදෙනවා. ඖෂධ මිල අඩු කළේ ද වත්මන් රජය විසින්. විප්ලවවාදී රජයක් විසින් ඖෂධ මිල අඩු කළේ නැහැ. බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගත යුතුයි. වර්තමානයේ බෝනොවන රෝග විශාල අභියෝගයක්. නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීම තුලින් රෝගී ජනතාවට විශාල සහනයක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සහ කියුබාවේ හොදම සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.”
 
“අතීතයේ ලෝක බැංකුව ප්‍රතිගාමීව සිටියත් වර්තමානයේ එම සංකල්පය වෙනස් වී තිබෙනවා. ලෝක බැංකුව නිසා රට රටවල යුද්ධ, කැරළි කෝලාහල ඇති වුනා. නමුත් වර්තමානයේ ලෝක බැංකුව ප්‍රකාශ කරන්නෙ ආර්ථීකය මෙහයවීමේ බලය වෙළෙදපොලට ලබා දිය යුතු බවයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණූ කිරිම තුලින් රටක් සංවර්ධනය කළ හැකි බව ලෝක බැංකුව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ  සෞඛ්‍ය සේවාව ගොඩනැංවීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලෝක බැංකුව ලබා දී තිබෙනවා. එම මුදලින් ක්ෂේත්‍රය තුල විශාල ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනයක් සිදු කළ හැකියි.
 
මෙහිදී වැදගත් වන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයයි. ඒ සදහා රාජ්‍ය නිලධාරීන් සහයෝගය ලබාදෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”
 
මෙම අවස්ථාවට ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, පේසල ජයරත්න, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, ලෝක බැංකුවේ නිලධාරීන් එක්ව සිටියහ.
 
ස්තූතියි.     
 
                    
මෙයට,
විශ්වාසී
 
ප්‍රසන්න අධිකාරි
අධ්‍යක්‍ෂ (මාධ්‍ය)