සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

“වෛද්‍ය නිල නිවාස ඉදිකිරීම කඩිනමින්” - සුව ඇමැති කියයි 2019-02-13

 
 
 
වෛද්‍ය නිල නිවාස ඉදිකිරීම කඩිනමින් - සුව ඇමැති කියයි.
 
විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
 
නිල නිවාස ඉදිකිරීම ආරම්භ කර මාස 06 කින් ඉදිකිරීම් කටයුතු අවසන් කරන බවත්, වෛද්‍යවරුන්ට අර්ධ සුඛෝපභෝගි නිල නිවසක් හිමි වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. චීන රජයේ සහන ණය ආධාර යටතේ දිවයිනේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාලව ඒරාවූර් මුලික රෝහලේ සහ සමන්තුරෙයි මුලික රෝහලේ ඉදිකරන වාටටු සංකීර්ණ සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. එරාවූර් මුලික රෝහලේ ඉදිකරන වාට්ටු සංකීර්ණය සදහා රුපියල් මිලියන 234 ක් ද, සමන්තුරෙයි මුලික රෝහලේ ඉදිකරන වාට්ටු සංකීර්ණය සදහා රුපියල් මිලියන 300 ක් ද  වැය කිරීමට නියමිතය.
 
මෙම උත්සව වල දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “වෛද්‍යවරුන් සදහා ඉදිකරන නිල නිවාස වසර 15 කට පසු යළි රජයට පවරා ගන්නවා. හෙද සේවයට අවශ්‍ය නිල නිවාස ඉදිකිරීම ද විදේශ ආයෝජනයක් මත ආරම්භ කරනවා. ඒ සදහා අවශ්‍ය මූලික සැළසුම් සකස් කර අවසන්. ඉන් පසු අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සදහා ද නිල නිවාස ඉදිකරනවා. වකුගඩු රෝගීන් වෙනුවෙන් රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර වැඩි කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙනවා. 2015 වසරේ දී රජය බලයට පත් වන විට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 228 ක් තිබූ අතර, 2018 වසර අවසන් වන විට එම සංඛ්‍යාව 500 දක්වා වැඩි වී තිබෙනවා. ජර්මනියෙන් තවත් රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර නොමිලේ ලබාදීමට ද නියමිතයි. එහිදී සේවකයින්ට පුහුණුවක් ද ලබාදෙනවා. 2019 වසර අවසන් වන විට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 1000 ක් දක්වා වැඩිකිරීම මගේ අරමුණයි.
 
සෞඛ්‍ය සේවය නොමිලේ ලබාදීම තුලින් දුප්පත් ජනතාවට විශාල සහනයක් ලැබෙනවා. හොද රටක් අපි නිර්මාණය කළ යුතුයි. අවස්ථා 03 ක දී මාව ඝාතනය කිරීමට උත්සාහ කළත් ඔවුන්ට එය සිදු කර ගැනීමට නොහැකි වුනා. සුළු ජාතීන් වෙනුවෙන් කථා කිරීම නිසා තමයි මම ඝාතනය කරන්න හැදු‍වේ. දුප්පත් ජනතාවට අවශ්‍ය හොද සෞඛ්‍ය සේවාවක් ලබාදීම මගේ අරමුණයි.”
 
“අලීසහීර් මවුලානා මන්ත්‍රීවරයා මගේ දීර්ඝකාලීන මිතුරෙක්. ඔහු 1993 වසරේ දී ජාතික දේශපාලනයට පැමිණියේ මම නිසයි. ශ්‍රී ලංකාවට සාමය හා සමගිය ගොඩනැංවීමට අලී සහීර් මවුලානා මන්ත්‍රීවරයා මූලික වගකීමක් ඉටු කළා. කරුණාඅම්මාන් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් වෙන් කිරීමට මුල් වූයේ ද මෙම මන්ත්‍රීවරයායි. ලංකා ඉතිහාසය පිළිබදව කෘති ලිවීමේ දී මෙම මන්ත්‍රීවරයා වෙනුවෙන් ද එක් පරීච්ඡේදයක් ලිවීම අත්‍යාවශ්‍ය කරුණක්. ඒ කළගුණ සැළකීමක් වෙනුවෙන් කළ සේවාව වෙනුවෙන්. කරුණාඅම්මාන් වෙන් කිරීම හේතුවෙන් මෙම මන්ත්‍රීවරයාට කාලයක් රට අතහැර යන්නත් සිදු වුනා.”
 
“දින 53 දේශපාලන අර්බුදයෙන් පසු යළි රජය ස්ථාපිත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගෙන් මම ඉල්ලා සිටියේ මගේ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා රාජ්‍ය අමාත්‍යධූරයට පත් කරන ලෙසටයි. අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම ඉටු කළා. එම නිසා මගේ රාජ්‍ය අමාත්‍යවරයාට වෙනදාට වඩා නැගෙනහිර පළාතේ රෝහල් සංවර්ධනය කරන්න පුළුවන්.”
 
මෙම උත්සව අවස්ථාවන් සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අලීසයිර් මවුලානා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුර සේනාරත්න, එම්.එම්.අයි මන්සූර්, එම්.එස්.එම් ඉස්මයිල්, ඒරාවූර් නගරාධිපති වාෂිඩ් අලී, රෝහල් අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
 
 
ස්තූතියි.                 
        
මෙයට,
විශ්වාසී
 
ප්‍රසන්න අධිකාරි
අධ්‍යක්‍ෂ (මාධ්‍ය)