සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් ඉදිරියේ දී ඇති කළ යුතු බව සුව ඇමැති පවසයි. 2019-02-06


දුෂණ, වංචා සහ කොමිස් නතර කර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් ඇති කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.



කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ රැකියාලාභී දෙමාපියන්ගේ රැස්වීක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. බේරුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී එම රැස්වීම පැවැත්විනි.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “දින 53 ක් පුරා පැවැති ඖෂධ හිඟය හේතුවෙන් ඖෂධ හිඟයක් ඇති වුනා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟවීම නිසා රෝගීන් දැඩි අසීරුතාවයට පත් වුනා. මම යළි ඇමැති වුනා කියලා රෝගීන්ට ඖෂධ නැත්නම් වැඩක් නැහැ. රෝගීන්ට දේශපාලන අර්බුද වැඩක් නැහැ. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතුයි. දුෂණ, වංචා, කොම්ස් නතර කරලා මිල පාලනය ඉදිරියේ දී ඇති කළ යුතුයි. කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ බොහෝ දේවල් අපි සිදු කළා. 2015 වසරේ දී දැඩි දේශපාලන තීන්දුවක් මම ලබාගත්තා. අපේ රජයේත් දුර්වලකම් තිබෙනවා. ලිච්ඡවි පාලනයෙත් දුර්වලකම් තිබුනා. නමුත් මම ප්‍රකාශ කරන්න කැමැතියි පැවැති රජයන්ට වඩා මෙම රජය ජනතාවට සේවය කර තිබෙනවා. මම ජනතා සේවාවල් සිදු කරන්නේ ජනතාවට ඉතාම ආදරයෙන්.”

“2015 වසරේ මැතිවරණය ජයගෙන ලබාදුන් පොරොන්දු අපි එකිනෙක ඉටු කළා. රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 කින් වැටුප් වැඩි කළේ 2006 වසරෙන් පසුවයි. වැඩි කළ වැටුප වසර 2020 වන විට රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටපට එකතු වෙනවා. වැටුප් වැඩිවීම තුල සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයින්ගේ අතිකාල දීමනා සදහා මාසිකව රුපියල් බිලියන 03 ක මුදලක් අවශ්‍ය වනවා. විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරිම, සමෘද්ධි දීමනාව දෙගුණයකින් වැඩි කිරීම, සරසවි සිසුන්ගේ මහපොල වැඩි කිරීම, ගොවි ණය කපා හැරීම, කිරිගොවීන් පෝෂණය කිරීම වැනි ජනතා සේවාවන් රැසක් රජය විසින් ඉටු කර තිබෙනවා. එම සේවාවන් පිළිබදව සමහරුන්ට මතක නැහැ. අපි ඉටු කළ සේවාවන් මාධ්‍ය මගින් පෙන්නුවෙත් නැහැ. යහපාලන නිසා ප්‍රචාරණයට මුදල් වැය කිරීම නතර කර ජනතා සහන ලබාදෙන්න කටයුතු කළා. නමුත් අපි වගේ රටකට ප්‍රචාරණය අවශ්‍යයයි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක මිල පාලනයක් සිදු කළේ බලපෑම් මතයි. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය වසර 45 කට පසු ක්‍රියාත්මක කළා. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ දේශපාලනඥයින්ට අත් වුනේ මරණයයි. ඖෂධ මිල අඩු කිරීම නිසා ඖෂධ භාවිතය සියයට 600 කින් වැඩි වී තිබෙනවා. දුම්කොල භාවිතය අවම කිරිම සදහා රූපමය අවවාද සිගරට් පැකට් කුල ඇතුලත් කිරීම හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේ දී සිදු කරන්න හැදුවත් හිටපු ජනාධිපතිවරයා ඊට ඉඩ ලබාදුන්නේ නැහැ. නමුත් ඔවුන් දේශප්‍රේමීන්, මේ පිළිබදව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිවරණ වේදිකාවේ දී කරුණූ ඉදිරිපත් කළා. නමුත් ජනාධිපතිවරයා දැන් එවැනි ප්‍රකාශ සිදු කරන්නේ නැහැ. මොකද ජනාධිපතිවරයාත් ඔවුන්ගේ පැත්තට ගොස් තිබෙන නිසා. බෝඩ් එක දේශප්‍රේමී වුනාට වැඩකටයුතු මුදලටයි. හොර හරක් ගෙනියන ලොරියෙත් ඉදිරිපිට බුදුසරණයි කියා ස්ටිකරයක් අලවා තිබෙනවා. නමුත් එහි ගෙනයන හරකාට නම් කිසිම බුදුසරණක් නැහැ. ඖෂධ මිල අඩු කිරිම නිසා රුපියල් බිලියන 20 ක ලාභයක් රජයට ලැබී තිබෙනවා. පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සීමාව ඉවත් කිරීම නිසා රුපියල් ලක්ෂ 450 දක්වා එක් රෝගියෙකුට ප්‍රතිකාර කර තිබෙනවා. නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච, නොමිලේ ලබාදීමට පියවර ගත්තා. නිදහස් සෞඛ්‍ය සේවාව අකුරටම සිදු කිරීමට යාමේ දී තමයි සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කරනවා කියලා සමහරු කෑ ගහන්නේ.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, පළාත් පාලන නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

ස්තූතියි.                         

 මෙයට,
විශ්වාසී


ප්‍රසන්න අධිකාරි
අධ්‍යක්‍ෂ (මාධ්‍ය)