සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සහ සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් හෙද හෙදියන් 1608 කට ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය සහ පත්වීම් ලිපි ප්‍රද 2019-01-31

  
දේශප්‍රේමීන් බව ප්‍රකාශ කරන ඇමරිකානු පුරවැසියන් ජනාධිපතිවරුන් ලෙස පත් කිරීමට උත්සාහ කරන රටක අප වර්තමානයේ ජීවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
 
සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සහ සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් හෙද හෙදියන් 1608 කට ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය සහ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට අද (31) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. මෙම උත්සවය අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.
 
මෙම පත්වීම්ලාභීන් දිවයිනේ සෑම රෝහලකටම අනුයුක්ත කර ඇත. සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා හෙද හෙදියන් 40,089 ක් අවශ්‍ය  වුවත්, දැනට සෞඛ්‍ය සේවාව තුල හෙද හෙදියන් 35,136 ක් සේවය කරති. හෙද හෙදියන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක හිඟයක් පවතින අතර, දැනට හෙද විද්‍යාලවල 9,000 කට ආසන්න හෙද සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබයි.
 
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “විදේශීය රටවල උපාධියක් ලබාගැනීමට තරඟයක් නැහැ. විදේශ රටවල වෛද්‍ය විද්‍යාල, විශ්ව විද්‍යාල අවශ්‍ය තරම් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ඊට වැටබැදලා තිබෙනවා. උසස් අධ්‍යාපනයට සීමා පැනවීමේ සටන් පාඨ ඉදිරිපත් කරනවා. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය එපා කියලා කෑගහනවා. සියල්ලම පෞද්ගලීකරණය කරනවා කියලා කෑගහනවා. ඒවා බොරු සටන් පාඨ විතරයි. වර්තමානයේ සෞඛ්‍ය සේවාවට වෛද්‍යවරුන් මදි. නමුත් වෛද්‍ය විද්‍යාල හදන්නත් ඉඩ දෙන්නේ නැහැ. මෙම නිසා තරුණ තරුණියන් පීඩාවට පත් වෙනවා. ඔවුන් බංග්ලාදේශය, නේපාලය වැනි රටවලට ගොස් වෛද්‍ය උපාධිය හදාරනවා. මෙවැනි විකෘති දේශපාලන මතිමතාන්තර තිබෙන රටක් තමයි සංවර්ධනය කිරීමට සිදුව තිබෙන්නේ.”
 
“හෙද හෙදියන් සදහා උපාධිය පිරිනැමීමට යෝජනා වූ විට වෛද්‍ය සංගමය විරෝධය පළ කළා. නමුත් හෙද උපාධිය ලබාදීමට අපි තීරණය කරලා වැඩ කටයුතු ආරම්භ කළා. ඊටත් විරෝධය පළ කරනවා. ශ්‍රී ලංකාවේ හොද සංවර්ධන ව්‍යාපෘති වලට විරෝධය පළ කරනවා. ඔවුන් ඉපදිලා මැරෙනකම් විරෝධය පළ කරලා අවසන් ගමනේ දීත් විරෝධය දක්වනවා. එහෙම කෑගහන්නේ සියයට 10 යි. ඒ කෑගහන අය නිසා  රජයන් ප්‍රතිපත්ති වෙනස් කරනවා. ලිංමැඩි න්‍යායෙන් තමයි වෛද්‍ය සංගම් කටයුතු කරන්නේ. තමන්ට වාසි වෙන ඒවා බ්‍රිතාන්‍ය යෙන් ලබාගන්නවා. ලෝකය සමග ගමන් කළ යුතුයි. බොහෝ අංශ ලෝකය සමග ගමන් නොකිරීම නිසා තනිවී සිටිනවා.”
 
“වත්මන් හෙද පීඨය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 18,500 ක්. හෙද පීඨයේ අධ්‍යාපනය ලබන හෙද සිසුන් සදහා ඉංග්‍රීසි භාෂාව ද විධිමත්ව උගන්වනවා. බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් මට පොරොන්දු වෙලා තිබෙනවා එම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට. ඖෂධවේදී, සමසෞඛ්‍ය, වෛද්‍ය සිසුන් සදහා උපාධි ලබාදීමට පීඨ ස්ථාපිත කර තිබෙනවා. එවිට තවත් වසර 04 ක් යනවිට සෞඛ්‍ය වෘත්තිකයින් උපාධිධාරීන් බවට පත් වෙනවා. සෞඛ්‍ය සේවය ඉහළ තළයට යොමු කරනවා. හෙද හෙදියන් 7000 ක හිඟයක් පවතිනවා. එම හිඟය අවසන් කිරිම සදහා හෙද පාසල් 05 ක් සංවර්ධනය කරනවා. හෙද ඩිප්ලෝමාධාරීන් බිහි කරමින් ඉහළ සහ දියුණු හෙද සේවාවක් බිහි කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ හෙද සේවාව ජාත්‍යන්තර පිළිගන්නා තත්ත්වයට පත් කරනවා. අතීතයේ වෛද්‍යවරුන්ටත් වඩා හෙද හෙදියන්ට විදේශීය රටවල රැකියා තිබුනා. නමුත් වර්තමානයේ උපාධිය අවශ්‍යයයි. ලෝකය දිහා බලන්න. වසා ඇති කඩතුරාවෙන් මිදෙන්න. ලෝකය ගෝලීයකරණය වී විශ්ව ගම්මානයක් බවට පත් වී තිබෙනවා. ඇතැම් අය ජාතිය, ආගම, කුලය වෙනුවෙන් කෑ ගහනවා. ඔවුන් දේශප්‍රේමීන්. දේශප්‍රේමීන්ගේ පවුල්වල අය ඉන්නේ විදේශීය රටවල. එවැනි පුද්ගලයින් තමයි ජනාධිපතිවරුන් බවට පත් කරන්න ලංකාව උත්සාහ කරන්නේ. ඔවුන්ගේ පුරවැසිභාවය තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. දේශප්‍රේමීන්ගේ හැටි එහෙමයි. අපි රට වෙනුවෙන් වැඩ කරන්න ලංකාවේම ජීවත් වුනා. වෛද්‍ය වෘත්තියේ නිරත වුනා. ශ්‍රී ලංකාව ගොඩනැංවීම අපගේ අරමුණයි. හෙද සේවාව ඉතාම වැදගත්. ඉන් ලැබෙන රස්සාවක්. රෝගීන්ට බැනලා පව් පුරවා ගන්න එපා. රෝගීන්ට හොදින් කථා කරන්න. දුප්පත් ජනතාවට හොද සෞඛ්‍ය සේවාවක් ගොඩනැංවීම යහපාලනයේ අරමුණයි. නිදහස් සෞඛ්‍ය සේවාව අකුරටම ක්‍රියාත්මක කිරීමට මම පියවර ගෙන තිබෙනවා. එම නිසා තමයි නොමිලේ සෞඛ්‍ය සේවා රැසක් ජනතාවට ලබාදෙන්නේ. විශ්වීය සෞඛ්‍ය රැකවරණය යටතේ හොදම සෞඛ්‍ය සේවාව කියුබාවේ සහ ශ්‍රි ලංකාවේ තිබෙනව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබෙනවා. එය අපට ගෞරවයක්.”
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ගීතාමනී කරුණාරත්න, සුනිල් ද අල්විස්, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩොනල්ඩ් මුරගේ, හෙද විද්‍යාලවල විදුහල්පතිවරුන් සහ අචාර්ය මණ්ඩලය, වෘත්තීය සමිති නායකයින්, දෙමාපියන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.