සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

රුපියල් මිලියන 1400ක් වැය කර රාගම ශික්ෂණ රෝහලට නව හදිසි ප්‍රතිකාර ඒකකයක් 2019-01-14

 
රුපියල් මිලියන 1400ක් වැය කර රාගම ශික්ෂණ රෝහලට නව හදිසි ප්‍රතිකාර ඒකකයක්.
 
රාගම ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සදුදා (14) පස්වරු 3.00 ට විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
 
රුපියල් මිලියන 1400 ක් වැය කරමින් ඉදිකරන ලද මෙම ඒකකය මහල් 04 කින් යුක්ත වෙයි. ශල්‍යාගාර 07 ක්. දැඩ්සත්කාර ඒකකයක්. විශේෂ ප්‍රතිකාර ඒකකයක්. ප්‍රාථමික සත්කාර ඒකකයක් සහ ශල්‍ය වාට්ටු 06 කින් මෙම ඒකකය සමන්විත වෙයි. මෙම රෝහල උතුරු කොළඹ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන්ට පුහුණුව ලබාදෙන රෝහල ද වෙයි. ඉංජිනේරුමය කාර්යන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු සිදු කරන ලදි. මෙම ගොඩනැගිල්ල ඇඳන් 480 කින් යුක්ත වන අතර, මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් 1500 කින් යුත් වාට්ටු සමන්විත වෙයි. දැනට වාර්ෂිකව රෝගීන් 140,000 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, බාහිර රෝගී අංශයෙන් වාර්ෂිකව ප්‍රතිකාර ලබාගන්නා සංඛ්‍යාව දල වශයෙන් 540,000 ක් පමණ වෙයි. සායන වලින් වාර්ෂිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 630,000 ක් පමණ වෙයි.
 
මෙම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 87 ක් සේවය කරන අතර, තවත් වෛද්‍යවරුන් 364 ක් සේවය කරයි. හෙද හෙදියන් 830 ක් ද සේවය කරනු ලබන අතර, මෙම රෝහල සංවර්ධනය කිරිම තුලින් ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන්ට විශාල සහනයක් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
 
මෙම පුවත සදහා ඔබ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට අදාල ඡායාරූප මේ සමග ඔබගේ විද්‍යුත් ලිපිනයට යොමුකර ඇත.
ඔබ ලබා දෙන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.
 
ස්තූතීයි.                          
මෙයට,
විශ්වාසී
 
ප්‍රසන්න අධිකාරි
අධ්‍යක්‍ෂ (මාධ්‍ය)