සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

පේරාදෙනිය ශික්ෂණ රෝහලත් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට. 2018-10-09


වසර 2020 වනවිට ශ්‍රී ලංකාවේ සියලුම රෝහල් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලුත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පේරාදෙනිය ශික්ෂණ රෝහල ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කිරීමේ උත්සවයට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පේරාදෙනිය ශික්ෂණ රෝහලේ අලුතින් ඉදි කරන ලද රුධිර රෝග සායන සහ දිවා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු විය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “2019 වසර වන විට රෝහල් 300 ක් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කරනවා. හොරණ මුලික රෝහලෙන් තමයි ඊ-හෙල්ත් ව්‍යාපෘතිය ආරම්භ කළේ. නවීන තාක්ෂණය සමග පරිගණක ගත කළ රෝහල් පද්ධතියක් අපි නිර්මාණය කළ යුතුයි. එය රේගීන්ට ද ඉතාම පහසුවක්.”

“මහනුවර රෝහලේ තදබදය අවම කිරීමේ අරමුණින් පේරාදෙනිය ශික්ෂණ රෝහලේ බහුමාන ගොඩනැගිල්ලක් ඉදිකරනවා. ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 30 ක්. එය ඇදන් 1000 කින් යුත් ගොඩනැගිල්ලක්. හෙලිකොප්ටර් ගොඩබැස්සවීමට ද පුළුවන්.”

මෙම අවස්ථාවට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා, රෝහල් අධ්‍යක්ෂ අර්ජුන තිලකරත්න මහතා ඇතුලු විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ. ක

නිපුන් ඒකනායක,

ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,