සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර භාවිතය දුර්වල කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමට සුව ඇමැතිගෙන් ලෝක නායකයින්ට ආරාධනාවක්. 2018-10-01

සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර භාවිතය දුර්වල කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමට සුව ඇමැතිගෙන් ලෝක නායකයින්ට ආරාධනාවක්.


සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර භාවිතය දුර්වල කිරීමේ වැඩපිළිවෙළක් ලෝක නායකයින්ගේ එකමුතුවෙන් දියත් කිරීම තුලින් බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගත හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සැසිවාරයට සමගාමීව පැවැති බෝනොවන රෝග වැළැක්වීම පිළිබද සමුළුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය. මෙම සමුළුවේ සම සභාපතිධූරය සෞඛ්‍ය අමාත්‍යවරයා හෙඹ වූ අතර, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යවරිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ද මුලසුන සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය.



“බෝනොවන රෝග පාලනය කිරිම සදහා ගන්නා වූ සියලු ක්‍රියාමාර්ග වලට ශ්‍රී ලංකාවේ සහාය හිමි වෙනවා. බෝනොවන රෝග පාලනය කිරීම සදහා එකමුතුවෙන් ශක්තිය යොදවා සටන් කළ යුතුයි. තරගකාරි වෙළෙදපොල තුල ජනතාවගේ ආහාර රටාව වෙනස් වී තිබෙනවා. නවීන තාක්ෂණය සමග නිෂ්පාදනය කරන ආහාර වලට ජනතාව කැමැති වුවත්, එම ආහාර සෞඛ්‍යාරක්ෂිත බවෙන් තොරවීම ගැටලුවක්. එම ආහාරවල රසකාරක ඇතුලත්. ක්ෂණික ආහාර වලටත් ජනතාව හුරුවී සිටිනවා. එම ආහාර සෞඛ්‍යාරක්ෂිත බවෙන් තොරයි. සිනි, මේදය, ලුණු අන්තර්ගතයි. ජනතාව ද මෙම ආහාර වලට එරෙහිව සටන් කළ යුතුයි. ජනතාවට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ආහාර පහසු මිලට සැපයිය යුතුයි. ඇතැම් ආහාර වර්ග වල රසායනික ද්‍රව්‍ය වලින් තොර ස්වභාවික ආහාර ලෙස ලේබල් කර තිබෙනවා. එවැනි ආහාර සෞඛ්‍යාරක්ෂිත නම් ඒවාට සහයෝගය ලබාදිය යුතුයි. එවැනි ආහාර නිරීක්ෂණය කළ යුතුයි. ප්‍රමාණවත් එළවළු සහ පලතුරු පාරිභෝගික ජනතාවට වසර පුරාම ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර දුර්වල කරන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. සීනි යනු ඝාතකයෙක්. අධික සීනි පරිභෝජනය තුලින් දියවැඩියාව හෘද රෝග ඇතිවෙන්න පුළුවන්. සීනි භාවිතය අවම කිරිම සදහා බදු වැඩි කළ යුතුයි. මේදය අඩු කිරිමටත් ක්‍රියාමාර්ග ගත  යුතුයි. නිල නොවන මට්ටමේ ආහාර නිෂ්පාදනය තුල මේදය වැඩියි. ලුණු පරිභෝජනය අවම කිරිම සදහා ශ්‍රී ලංකාව විවිධ ක්‍රියාමාර්ග දියත් කර තිබෙනවා. සෞඛ්‍යාරක්ෂිත පුරුදු, ව්‍යායාම කිරීම තුලින් ජනතාව බෝනොවන

රෝග වලින් ආරක්ෂා කර ගන්න පුළුවන්. බෝනොවන රෝග පාලනය කර ගැනීම සදහා ලෝක නායකයින් අත්වැල් බැදගත යුතුයි.”

“මෙම සමුළුව බෝනොවන රෝග පාලනය කිරීමේ ඉහළ පෙළේ සැසිවාරයක්. බෝනොවන රෝග පාලනය කිරිම තුලින් යහපත් සෞඛ්‍ය සේවාවක් ඇති කිරීම සදහා දේශපාලන දැක්ම අලුත් කර ගැනීමට මෙම සමුළුව වැදගත් වෙනවා. ශ්‍රී ලංකාව තුල නිදහස් සෞඛ්‍ය සේවාවක් සහ අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙනවා. රෝහල්වලට ඇතුලත් කරන රෝගීන්ගෙන් සියයට 75 ක් පමණ මිය යන්නේ බෝනොවන රෝග වලින්. පසුගිය වසර 03 තුල බෝනොවන රෝග පාලනය කිරිම සදහා ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානය අගය කර තිබෙනවා. බහු පාර්ශ්වීය දායකත්වය ලබාගනිමින් බෝනොවන රෝග පාලනය කිරිම සදහා විවිධ පියවර ගෙන තිබෙනවා. ජනාධිපති කාර්ය සාධක බලකාය, ජාතික සෞඛ්‍ය සභාව ස්ථාපිත කරමින් බෝනොවන රෝග පාලනය කිරිම සදහා ගත් ක්‍රියාමාර්ග නිරීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීමට හැකි වී තිබෙනවා. බෝනොවන රෝග වැළැක්වීමේ කාර්යාංශයක් ද ස්ථාපිත කර තිබෙනවා. මෙම ක්‍රියාමාර්ග ගැනීම සදහා ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය ඉතා වැදගත් වුනා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය සදහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක පරිත්‍යාගයක් ලැබී තිබෙනවා. බෝනොවන රෝග වල ප්‍රගතිය සොයා බැලීම සදහා ගෝලීය දර්ශක 19 න් ශ්‍රී ලංකාව දර්ශක 14 ක් සම්පුර්ණ හා අර්ධ වශයෙන් සම්පුර්ණ කර තිබීම අපි ලැබූ සෞඛ්‍ය ජයග්‍රහණයක්. දුම්කොල භාවිතය අවම කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීම, බදු වැඩි කිරීම, නිත්‍යානුකූල නොවන දුම්වැටි පාලනය, පැණි බීම සදහා වර්ණ සංකේත ක්‍රමය හදුන්වා දීම, ලුණු මේදය අවම කිරීම සදහා එවැනි ආහාර වලට ද ඉදිරියේ දී වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වාදීම තුලින් බෝනොවන රෝග පාලනයට පියවර ගෙන තිබෙනවා. බෝනොවන රෝග වලට ගොදුරු වූ රෝගීන් කළමණාකරණය කිරීම සදහා ද වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.”


නිපුන් ඒකනායක,

ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,


 
Read More >>