සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

වකුගඩු බද්ධ සැත්කම් 400 දක්වා ඉහළට 2018-09-17

 
යහපාලන රජය බලයට පත්වීමෙන් පසු වකුගඩු බද්ධ සැත්කම් 400 ක් පමණ සිදුකර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
 
ද සොයිසා කාන්තා රෝහල් පරිශ්‍රයේ ලේ බැංකුව, වෛද්‍ය රසායනාගාරය යන අංශ වලින් සමන්විතව ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරිම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පස්වරුවේ සිදු කෙරිනි. 
 
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -  “ශ්‍රී ලංකාවේ මාතෘ හා ළදරු මරණ අනුපාතය අඩු වී තිබෙනවා. එය යුනිසෙෆ් සංවිධානය ද ඇගයීමට ලක් කළා. ඇමරිකාවට වඩා හොද සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාවේ තිබෙන බවට ජාත්‍යන්තර ඇගයීම් ලැබී තිබෙනවා. දුප්පතුන්ට හිතවාදී සෞඛ්‍ය සේවාවක් ක්‍රීයාත්මක වන බව ලෝක බැංකුව සිය වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණූ කිරිම නිසා තමයි මෙම ජයග්‍රහණ ලබාගැනීමට හැකි වුනේ.  යහපාලන රජය බලයට පත් වූ පසු සියලුම බද්ධ කිරිම් ආරම්භ කළා. ඇටමිදුලු බද්ධ කිරීම, අක්මා බද්ධය, හදවත් බද්ධය, පාද බද්ධය ඒ අතර ප්‍රධාන වෙනවා. මෙම බද්ධ කිරීමේ වැඩපිළිවෙල ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඇගයීමට ලක් කර තිබෙනවා. මහනුවර මහ රෝහලේ දී ප්‍රථම හදවත් බද්ධ සැත්කම සිදු කළා. දෙවන හදවත් බද්ධ සැත්කම සිදු කිරිමට යාමේ දී ගැටලු මතු වූ බැවින් එය සිදු කිරිමට නොහැකි වුනා. තුන්වන හදවත් බද්ධ සැත්කම සිදු කිරිම සදහා මේ වන විට සියල්ල සුදානම් කොට තිබෙනවා. එය මහනුවර මහ රෝහලේ දී විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා විසින් සිදු කිරීමට නියමිතයි. ශල්‍ය ෙවෙද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන් ඉල්ලන සෑම පහසුකමක් ම ලබා දී තිබෙනවා. මහනුවර මහ රෝහලේ පළමු වරට අක්මා බද්ධ සැත්කමක් සිදු කළා. මම එම රෝගියා බැලීමට ගිය අතර, අක්මා බද්ධ සැත්කම් සිදු කිරිම සදහා අවශ්‍ය සියලුම පහසුකම් මහනුවර මහ රෝහලට ලබාදීමට ද පියවර ගත්තා.”
 
“කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ අද දින විවෘත කළ ගොඩනැගිල්ල පිළීබද මට පැමිණිලි දෙකක් වෛද්‍යවරුන්ගෙන් ලැබුනා. මම මේ පිළිබදව අධ්‍යක්ෂවරයාගෙන් විමසා සිටියා. දැඩි සත්කාර ඒකකයේ රාජකාරියේ නියුතුව සිටින වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරියන්ට විධිමත් වැසිකිලි පහසුකම් නැහැ කියලා තොරතුරු වාර්තා වුනා. දෙවැනි කරුණ දැඩි සත්කාර ඒකකයේ දරුවන් 30 කට ප්‍රතිකාර කිරීමේ පහසුකම් මීට පෙර තිබූ බවත් නව ගොඩනැගිල්ලේ එය 20 දක්වා අඩු කර ඇති බව වාර්තා වුනා. මම මේ සිද්ධි දෙක පිළිබදව අධ්‍යක්ෂවරයාගෙන් විමසා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කළා.”
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ,  අතිරේක ලේකම් ලක්ෂ්ම් සෝමතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කුමාර වික්‍රමසිංහ,  සොයිසා රෝහලේ අධ්‍යක්ෂ සුදත් ධර්මරත්න, විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ. 
 
නිපුන් ඒකනායක,                                                                                                                                                 
 
ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,