සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

සෞඛ්‍ය සේවාවේ අභ්‍යාසලාභීන් බදවා ගැනීම විද්‍යුත් (Online) ක්‍රමයට - සුව ඇමැති කියයි. 2018-08-29

 
වෛද්‍යකර්මය සදහා වූ හෙද, පරිපූරක හා අතුරුවෛද්‍ය සේවාවේ පුහුණුව සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීම විද්‍යුත් මාධ්‍ය (Online) ක්‍රමයෙන් සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) දහවල් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඒ යටතේ හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවේ පුහුණුව සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීමේ ගැසට් නිවේදනය ලබන (31) දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. එම අභ්‍යාසලාභීන් බදවා ගනු ලබන්නේ නව ක්‍රමය යටතේයි. මීට ප්‍රථම අභ්‍යාසලාභීන් බදවා ගැනීම සාමාන්‍ය ක්‍රමවේදයට අනුව අයදුම්පත් තැපැල් මගින් ගෙන්වා සිදු කරනු ලැබිනි. විද්‍යුත් මාධ්‍යයෙන් අභ්‍යාසලාභීන් බදවා ගැනීම සදහා වූ මෘදුකාංගය මොරටුව විශ්ව විද්‍යාලය මගින් සකස් කර ඇත. එය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ කර තිබේ. අභ්‍යාසලාභීන් බදවා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ සිදු කිරීමට කටයුතු යොදා ඇත. අගොස්තු මස 31 දින ප්‍රකාශයට පත් කරන ගැසට් නිවේදනයට අනුව තනතුරු 12 ක් සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීමට නියමිතය. සියලු අයදුම්කරුවන් ලියාපදිංචි වීමේ දී ජාතික හැදුනුම්පතක්, වලංගු විද්‍යුත් තැපැල් ගිණුමක්. සම්බන්ධ කර ගත හැකි ජංගම දුරකථන අංකයක් තිබිය යුතුය. අයදුම්පත් පිරවීමේ දී ගැටලුවක් මතුවුවහොත් සතියේ දින වල දී ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් සහ සෞඛය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමණාකරණ හා සම්බන්ධීකරණ ඒකකය (011 2693955) යන දුරකථන අංකයෙන් උපදෙස් ලබාගත හැකි වෙයි. නව වැඩපිළිවෙල තුලින් සෞඛ්‍ය සේවාවට අවශ්‍ය සියලුම කාර්ය මණ්ඩල කඩිනමින් බදවා ගැනීමටත්, කඩිනමින් පුහුණුවට යොමු කිරිමටත් හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
 
මෙම අවස්ථාවට අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, මානව සම්පත් කළමණාකරණ සහ සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිලීප් ද සිල්වා, වෛද්‍ය සුදත් සමරවීර, යන මහත්වරුන් එක්ව සිටියහ.
 
නිපුන් ඒකනායක,
 
ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,