සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

සුව සේවාව සදහා 2584 දෙනෙකු බදවා ගැනීම සහ සෞඛ්‍ය සේවකයින් ලෙස බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය 2018-08-06

සුව සේවාව සදහා 2584 දෙනෙකු බදවා ගැනීම සහ සෞඛ්‍ය සේවකයින් ලෙස බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පසුගියදා සිදු කෙරිනි.

මෙහිදී හෙද පුහුණුව සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2031 ක්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරු, රසායනාගාර කාර්මික නිලධාරීන්, දුරකථන ක්‍රියාකරුවන්, උපස්ථායක, කීට විද්‍යා සහකාර සේවා සදහා පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “වත්මන් හෙද සේවාව තුල පුරප්පාඩු 7000 ක් තිබෙනවා. නවීන රෝහල් 15 ක් ගොඩනැගෙමින් පවතිනවා. රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවා ආරම්භ කර තිබෙනවා. කොළඹට පමණක් සීමා වූ හදිසි අනතුරු සේවාව දීප ව්‍යාප්ත කරමින් රෝහල් 24 ක ස්ථාපිත කර තිබෙනවා. ඇතැම් සේවාවන් පුළුල් කිරීමේ දී විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරු සහ හෙද හෙදියන් ප්‍රමාණාත්මකව ලැබෙන්නේ නැහැ. වෛද්‍යවරුන්ගේ අයිතිය ආරක්ෂා කිරිම මෙන්ම පුරවැසියන්ගේ අයිතිය ද ආරක්ෂා කළ යුතුයි. මහාචාර්ය ප්‍රියදර්ශණී ගලප්පත්ති මහත්මිය සකස් කළ වෛද්‍ය විගණනයකට අනුව හෘද රෝගීන් සදහා නොමිලේ ස්ටෙන්ස් ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට ප්‍රථම රෝගීන් 100 කගෙන් ස්ටෙන්ස් දමාගෙන ඇත්තේ 03 දෙනෙකු පමණයි. අද සියළු දෙනාටම ස්ටෙන්ස් නොමිලේ ලබාදෙනවා. ලබන වසර අවසන් වීමට ප්‍රථම ඊ-හෙල්ත් කාඩ්පත සියලුම ජනතාවට ලබාදෙනවා. නමුත් ඇතැම් අයගේ සිතුම් පැතුම් සම්ප්‍රධායිකයි. නූතන ලෝකයට ගැලපෙන්නේ නැහැ. බුද්ධියක් නොමැති ඇතැම් මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ. දේශපාලනඥයින්, මාධ්‍ය ඇතැම් අවස්ථාවල ඉන්නේ මෝඩ සිතුවිලි වලයි. නමුත් වැට කඩොලු කඩාගෙන දූපත් මානසිකත්වයෙන් ඉවත් වී ඉදිරියට යා යුතුයි. රටේ හෙට ගැන සිතා තීන්දු තීරණ ගත යුතුයි. මනස දියුණු විය යුතුයි. ඇතැම් නිලධාරීන්ට ද අවබෝධයක් නැහැ. සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් එක වෘත්තීය සමිතියක් හැර අනෙකුත් වෘත්තීය සමිති සහයෝගය ලබාදෙනවා. පැවැති රජය පෙරලා දමා වත්මන් රජය විද්‍යාත්මක අන්දමින් සමාජ සුභසාධනය ඉටු කරනවා. නිදහස් සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබදව පළමුව අදහස් පළ කළේ වාමාංශික නායකයින් විසින්. මම පිළිගන්නේ ධනපතියාට ඇති අයිතිය දුප්පත් ජනතාවට ලැබිය යුතු බවයි.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) සුනිල් ද අල්විස් යන මහත්වරු ඇතුලු වෘත්තීය සමිති නායකයින් ද එක්ව සිටියහ. 


නිපුන් ඒකනායක,

ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,