සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ස්ථාපිත කළ හෙද පීඨයේ මහල් 14 කින් යුත් ශිෂ්‍ය නේවාසිකාගාරය සදහා මුල්ගල් තැබීම 2018-08-06


කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ස්ථාපිත කළ හෙද පීඨයේ මහල් 14 කින් යුත් ශිෂ්‍ය නේවාසිකාගාරය සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) නැගෙනහිර කොළඹ මුලික රෝහල් භූමියේ දී සිදු කෙරිනි. මේ සදහා වැය කරන මුදල රුපියල් බිලියන 07 කි. හෙද පීඨය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් භූමියේ ඉදිකරමින් පවතියි. ශිෂ්‍ය නේවාසිකාගාරය තුල පිහිණුම් තටාක, ව්‍යායාම් කිරීමේ මධ්‍යස්ථාන ද ඇතුලත්ය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “හෙද සේවාව වෘත්තීයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවයක් පැවතුනා. දේශපාලනඥයින්, මාධ්‍යවේදීන් ඉන්නෙත් දූපත් මානසිකත්වයෙන්. අපි විශ්ව ගම්මාන සංකල්පයට යා යුතුයි. හෙද වෘත්තීය වෘත්තියක් බවට ගොඩනැංවිම සදහා අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි. හෙද පීඨය තුල එකවර හෙද හෙදියන් 2000 ක් පුහුණු කිරීමේ හැකියාව පවතිනවා. දිවයින පුරා පිහිටි හෙද පාසල් 05 ක් සංවර්ධනය කර බිහිවන හෙද හෙදියන්ගේ සංඛ්‍යාව වැඩි කරනවා. අතිරික්ත හෙද හෙදියන් විදේශ රැකියා සදහා යොමු කළ හැකියි. උදාහරණයක් ලෙස ඉන්දියාව ඇමරිකාවේ සන්නිවේදන වෙළෙදපොල සදහා වාර්ෂිකව තරුණ තරුණයින් 10,000 පමණ යොමු කරනවා. හෙද පීඨය හා නේවාසිකාගාරය ඉදිකිරිම සදහා වැය කරන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 14.5 ක්. දැනට හෙද පීඨය සදහා හෙද හෙදියන් 100 ක් බදවා ගෙන අධ්‍යාපන කටයුතු ලබාදෙනවා. සෞඛ්‍ය සේවයේ සියළුම අංශ වෘත්තීන් බවට පත් කරනවා. වෛද්‍යවරු පමණක් නොවෙයි. සෑම ක්ෂේත්‍රයක්ම වෘත්තීන් බවට පත් කිරීමේ දී දැනට පවතින උත්තරීතර තත්ත්වය නැති වෙනවා. සමානාත්මතාවය නව  මානසිකත්වයක් ඇති වෙනවා. අපේ රටේ ඇතැම් පුද්ගලයින් සතුව තිබෙන්නේ වහල් සිතුම් පැතුම්. වහල් භාවයෙන් සිටිය යුතුයි යන තේමාවෙන් තමයි ඇතැම් අය සිතන්නේ. අපේ රජය පෙරලා දමා එන්න හදන්නෙත් වහල් සිතුම් පැතුම් තිබෙන පුද්ගලයින් පිරිසක්. මහ රජාණෝ කියන අය බිහි කරන්න තමයි උත්සාහ කරන්නේ. අපි ආරම්භ කළ වැඩිපිළිවෙල සමහරුන්ට තේරෙන්නේ නැහැ. පසුකාලීනව තේරෙයි. වර්තමානයේ කරන වෘත්තීයමය සටන් වලට වඩා මම වෘත්තීය සටන් කර තිබෙනවා. අද ඉන්න වෘත්තීය නායකයෝ වගේ නොවෙයි. හැබැයි නූතනයේ වෘත්තීය සමිති ව්‍යාපාරය තුල සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්න පුළුවන්. වත්මන් රජය වෘත්තීය සමිති ඉල්ලීම් වලට අවධානය යොමු කරනවා. එවිට හිතනවා දුර්වල රජයක් කියලා. හැබැයි වෘත්තීය සමිති නියෝජිතයින් ගුටි කනකොට හිතනවා ශක්තිමත් රජයක් කියලා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එල්.බී ගුණවර්ධන, හෙද පීඨයේ පිඨාධිපති මහාචාර්ය දේවක වීරකෝන්, නැගෙනහිර කොළඹ මුලික රෝහලේ අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙනිය මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

නිපුන් ඒකනායක,

ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,