සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

මාතර හෙද විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2018-07-31

රුපියල් මිලියන 76 ක වියදමින් ඉදිකරන ලද මාතර හෙද විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පෙරවරුවේ සිදු කරන ලදි.
 
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “යහපාලන රජය බලයට පත්වීමේ දී ගත් මෝඩ තීන්දුවක් තමයි ප්‍රචාරක කටයුතු සදහා මුදල් වැය කිරීම නතර කිරීම. වත්මන් ආණ්ඩුව රට තුල වෙනසක් ඇති කර තිබෙනවා. එය ප්‍රචාරය කිරීමට අවශ්‍ය කටයුතු නොකිරීම හේතුවෙන් ජනතාව අතර අප්‍රසාදයක් ඇති වී තිබෙනවා. එම නිසා ඇතැම් ජනතාව සිතන්නේ රජය සිදු කළ සංවර්ධන ව්‍යාපෘති පසුගිය රජය විසින් සිදු කළ ව්‍යාපෘති බවයි. ජනතාව වෙනුවෙන් මුදල් වැය කළ ද ඒ පිළිබදව ජනතාව දැනුවත් නොවීම හේතුවෙන් වත්මන් රජය විවේචනයට ලක්වෙමින් තිබෙනවා. ඉදිරි සංවර්ධන කටයුතු නවතා ඒ වෙනුවට වත්මන් ආණ්ඩුව සිදු කළ ව්‍යාපෘති පිළිබදව පුළුල් ප්‍රචාරයක් ලබාදිය යුතු බව මම අග්‍රාමාත්‍යවරයාට යෝජනා කළා.”


 
“ශ්‍රී ලංකාවේ රෝහල් යුරෝපීය තත්ත්වයේ රෝහල්වලට සමාන ආකාරයෙන් සංවර්ධනය කරනවා. සෞඛ්‍ය සේවයේ ප්‍රතිකාර සේවාව මුළු ලොවම ගරු කරනවා. විශේෂයෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව අගය කරනවා. ඇතමුන් අහනවා වෙනස සැප ද කියලා. ඔව් හරිම සැපයි. මොකද ජනතාව ජීවත් කරවීමට අපට හැකියාව ලැබී තිබෙනවා. රෝගීන්ට පරම ලාභය ලබාදිය යුතුයි. ප්‍රතිපත්ති සහ තීන්දු මත ගත් සෞඛ්‍ය පියවර වල ප්‍රතිලාභ අද මාධ්‍ය තුල පළ වන්නේ නැහැ. හරිම කණගාටුයි. විදේශීය රටවල මාධ්‍ය වල සියයට 90 ක් පළ වන්නේ සංවර්ධන ව්‍යාපෘති. විවේචන තිබෙන්නේ සියයට 10 ක් පමණයි. අක්ෂි කාච පිළිබදව මාතර මහ රෝහල සම්බන්ධයෙන් විවේචන තිබෙනවා. ගුවන්විදුලි සංස්ථාවේ සෞඛ්‍ය ඇමැතිතුමාගෙන් අහන්න වැඩසටහනේ දී ජනතාව මේ පිළිබදව මට දැනුම් දෙනවා. නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙලට සමහරු කැමැති නැහැ. අර්බුද තිබෙනවා. පැරණි ක්‍රමයට ක්‍රියාත්මක කරමු කියලා ඇතැමුන් කියනවා. එය මුදල් ලැබෙන ක්‍රමයක්. එහෙම යෝජනා කරන අයට මුදල් ලැබෙන ආකාරය පිළිබදව මට සමාගම්වල නියෝජිතයින් තොරතරු ලබාදුන්නා.”
 
 
මෙම අවස්ථාවට දකුණු පළෘත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ මාල්කාන්ති මැදිවක මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
 
නිපුන් ඒකනායක,
 
ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්