සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ඕස්ට්‍රියානු සහන ණය ආධාර මත ගිලන් රථ 100 ක්. "ගුවනින් ගිලන් රථ සේවාවක් ද ආරම්භ කරනවා "සුව ඇමැති පවසයි. 2018-07-23


ඕස්ට්‍රියානු සහන ණය ආධාර මත ගිලන් රථ 100 ක්. ගුවනින් ගිලන් රථ සේවාවක් ද ආරම්භ කරනවා. මුදල් නොබලා මිනිස් ජීවිත දෙස බලා පමණයි යහපාලන රජය වැඩ කරන්නේ.සුව ඇමැති පවසයි.

ඕස්ට්‍රියානු සහන ණය ආධාර මත ගිලන් රථ 100 ක්. රජයේ රෝහල් වෙත බෙදාදීමේ ව්‍යාපෘතිය යටතේ ගිලන් රථ 20 ක් රජයේ රෝහල් වෙත බෙදාදීමේ උත්සවය පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය සැපයුම් අංශය ඉදිරිපිට පරිශ්‍රයේ   දී සිදු කෙරිනි.මෙම එක් ගිලන් රථයක වටිනාකම රුපියල් මිලියන 18 කි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “මෙම ගිලන් රථ වෛද්‍ය උපකරණ ද සහිත නවීන පන්නයේ ගිලන් රථ වෙනවා. මෙවැනි බෙන්ස් ගිලන් රථ 100 ක් පළමු අදියර යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වනවා. ඉන් පසු තවත් ගිලන් රථ 100 ක් ගෙනඒමට නියමිතයි. ඉදිරියේ දී තවත් ගිලන් රථ 200 ක් ගෙන්වීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කරනවා. රජය විසින් ඇණවුම් කළ ගිලන් රථ 250 ක් ද ඉදිරියේ දී රෝහල් වෙත බෙදාදීමට නියමිතයි. සෑම ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයක් සදහාම හදිසි ප්‍රතිකාර ඒකකයක්, අංග සම්පුර්ණ වාට්ටු  02 ක් සහ ගිලන් රථයක් ලබාදීමටයි සැළසුම් කර ඇත්තේ. සුව සැරිය ගිලන් රථ සේවාව ද දීප ව්‍යාප්තව ආරම්භ කරනවා. ඉන්දීය රජයේ ආධාර මත මෙම ගිලන් රථ සේවාව ක්‍රියාත්මකයි. එම ගිලන් රථ සේවාව ආරම්භ කරන විට වෛද්‍යවරුන් ප්‍රකාශ කළා ඉන්දියාවෙන් මැලේරියාව එනවා කියලා. රෝ ඔත්තු සේවාවේ ඒජන්තවරු එනවා කිවුවා. වෛද්‍යවරුන් ග්‍රාමීය අදහස් තමයි ප්‍රකාශ කළේ. රෝ ඔත්තු සේවාවේ අයට ගිලන් රථ අස්සේ හැංගිලා ඇවිත් වැඩක් නැහැ. ගල් ගහන්න ඕනි කිවුවා. දොස්තරවරුන්ගේ මානසිකත්වය එයයි. එය රෝගයක්. එවැනි මානසිකත්වයක් තිබෙන අය හිටියාම රට ඉවරයි. මෙම ගිලන් රථ සේවාවෙන් විශාල සේවාවක් ජනතාවට සිදු වුනා. ලක්ෂ 4 කට වැඩි පිරිසක් එහි සේවය ලබාගෙන තිබෙනවා. ඉන්දීය රජයේ ආධාර මත ලංකාවට තවත් ගිලන් රථ 202 ක් මෙම සේවාව සදහා ලැබෙනවා. බ්‍රිතාන්‍ය යේ වෛද්‍ය සගරාවේ මාර්තු මස කතු වැකියේ තිබෙනවා නොමිලේ ස්ටෙන්ස් ලබාදීම සහ ගිලන් රථ ලබාදී නිසා හෘද සැත්කම් සේවාවේ විප්ලවීය වෙනසක් සිදුව ඇති බව. ගුවනින් ගිලන් රථ සේවාවක් ද ආරම්භ කරනවා. ඒ ජර්මනියේ ආධාර මතයි. අද බෙදා දෙන මෙම ගිලන් රථ සදහා ඕස්ට්‍රියානු රජය පොලිය අය කරන්නේ නැහැ. පසුගිය රජය ලබාගත්තා වාගේ වාණිජ ණය අපි ගන්නෙත් නැහැ. වසරකට හදිසි අනතුරුවලින් පුද්ගලයින් 25,000 ක් පමණ ජිවිතක්ෂයට පත්වෙනවා. එම නිසා හදිසි ගිලන් රථ සේවාව ඉතාම වැදගත්. හදිසි අනතුරුවලට ලක්වූවන් රෝහල්වලට ගෙනඒමේ ප්‍රමාදය හේතුවෙන් තමයි වැඩි වශයෙන් මිය යන්නේ. යුරෝපයේ පවතින දියුණු ගිලන් රථ සේවාවක් ලංකාවෙත් ආරම්භ වෙනවා. මුදල් නොබලා මිනිස් ජීවිත දෙස බලා පමණයි යහපාලන රජය වැඩ කරන්නේ.”

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.



නිපුන් ඒකනායක,
ගරු සෞඛ්‍ය  පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්