සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

හම්බන්තොට මහ රෝහලේ නව වකුගඩු ඒකකය සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ සිදු කෙරිනි. 2018-06-18

හම්බන්තොට මහ රෝහලේ නව වකුගඩු ඒකකය සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ සිදු කෙරිනි.


මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 240 කි. හම්බන්තොට නව මහ රෝහල් භූමියේ මෙම වකුගඩු ඒකකය ඉදිකරනු ලබයි.


මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - බද්ධ කිරිම් සදහා මහල් 17 කින් යුත් මධ්‍යස්ථානයක් කොළඹ ජාතික රෝහලේ ඉදිකරනවා. ඒ පින්ලන්ත ආධාර මතයි. ජාතික රෝහලේ වකුගඩු ඒකකය ද සංවර්ධනය කරනවා. සියලුම බද්ධ කිරිම් එකම ස්ථානයක සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ. නමුත් යමෙක් අලුත් දෙයක් කළාම වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එනවා. ඇතැම් අය ඒවාට විරුද්ධයි. බද්ධ කිරිම් වලටත් එවැනි හේතු බලපෑවා. අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගෙත් එවැනි බලපෑම් තිබෙනවා. එංගලන්තයේ අක්ෂි සැත්කම් සිදු කිරිම සදහා පැමිණෙන ලෙස දැනුම් දී ඇති ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුට මෙරට අක්ෂි වෛද්‍යවරුන් බලපෑම් කරනවා. නීතිය කඩලා කරපුවාම මාධ්‍යයෙන් විවේචන කරනවා. නීති රීති 84000 ක් තිබෙනවා. තිස්තුන්කෝටියක් දෙවිවරු වගේ. දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා නීති කඩලා රට සංවර්ධනය කළා. නොබියව තින්දු තීරණ ගත්තා. ඉන් පසු පක්ෂ දෙකේ කොයි නායකයෙක් වත් එලෙස වැඩ කළේ නැහැ. වැඩ නොකළොත් ගැටලු රැසක් ඇති වෙනවා. නීති රීති තිබෙන්නේ වැඩ නොකරන්නයි. මම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට විරුද්ධවයි සිටියේ. නමුත් ඇත්ත කථා කළ යුතුයි. මමයි සජිත් ඇමැතිතුමයි කරපු වැඩ හොදටම ඇති මෙම ආණ්ඩුවට වෙන ඇමැතිවරු අවශ්‍ය නැහැ. සජිත් ඇමැතිතුමා ගෙවල් හදන්නේ දුප්පත් අසරණයිට. මම සෞඛ්‍ය මෙහෙය වන්නෙත් දුප්පතුන්ට හිතවාදී ලෙසයි.


“යහපාලනයෙන් මොනවා ද කලේ කියලා ඇතැමුන් අහනවා. ඖෂධ මාෆියාවට එරෙහිව අපි සටන් කළා. පිළිකා ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මිල දී ගත්තේ රුපියල් දෙලක්ෂ අසූදාහකටයි. මම නව එන්නතක් හදුන්වා දුන්නා. ඉන් පසු පෙර තිබූ ඖෂධය රුපියල් එක්ලක්ෂ හැටපන්දාහසකට අඩු කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් වියදම් කරලා තිබෙන්නේ සමාගම් වලටයි. එම මාෆියාව බිද දැමීම නිසා ඖෂධ සමාගම් මට විරුද්ධයි. පිළිකා රෝගීන්ට ජිවිත කාලය පුරා ප්‍රතිකාර ලබාදෙනවා. මනුෂ්‍ය ජිවිත වලින් තමයි යහපාලනය සිදු කරන්නේ. පසුගිය රජයට පිළිකා රෝගියා බේරා ගන්න මුදල් තිබුනේ නැහැ. නමුත් රාත්‍රී කාලයේ රේස් පදින්න මුදල් තිබුනා. පොල් බෑය ගැන තමයි කථා කරන්නේ. විපක්ෂයට සහ මාධ්‍යයට එය හොද මාතෘකාවක්. අක්ෂි කාච හිගයි කියලා මාධ්‍ය තුලින් පළ වුනා. නමුත් අක්ෂි කාච ලක්ෂයක් ආනයනය කළා. එම ලක්ෂය මේ වන විට රෝගීන්ට බද්ධ කර තිබෙනවා. විශාල පිරිසක් අක්ෂි කාච දාගන්නවා.”


“අපේ රජයට මුදල් වැහි වැහැලා නැහැ. පසුගිය රජයේ ණය ට්‍රිලියන ගණන් තිබෙනවා. මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් තමයි මුදල් අමාත්‍යාංශය පාලනය කළේ. හිටපු ජනාධිපතිවරයා මට ප්‍රකාශ කළා ලේකම් තුමා තමයි එය දන්නේ කියලා. දේශීය බැංකු වලින් ද වෙනම ණය අරගෙන තිබෙනවා. ඒ ණයත් ගෙවන්න සිදු වෙලා තිබෙනවා. ගෙවීමට නියමිතව තිබූ ණය ප්‍රමාණයට වඩා ණය කන්දක් තිබෙනවා. හොර පාරෙන් ණය අරගෙන. මෙවැනි ණය ගැනීම් රජයක් විසින් සිදු කරන ඒවා නොවෙයි. නමුත් පසුගිය රජයේ සිටි අය කයිවාරු ගහනවා. වත්මන් රජය ණය ගෙවන ගමන් ජනතාවට සහන ලබාදෙනවා. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජනසවිය ඇතුලු සහනාධාර රැසක් ලබාදුන්නා. ඔබ බේරුවල පැත්තේ කයිවාරු ගහන මන්ත්‍රිවරයාත් ජනසවිය ගුරු පත්වීම් ලබාගත් පුද්ගලයෙක්. එක්සත් ජාතික පක්ෂය ධනපති පංතියක් කියලා සමාජ මතයක් තිබුනත් සහන ලබාදෙනවා. මාධ්‍යයට අද නිදහස ලබා දී තබෙනවා. ජනපතිටත් ගහනවා. එදා ජනාධිපතිවරයා විවේචනය කළා නම් එළු අත්තනගලු වංශයෙන් අහගන්න පුළුවන්. කතුවරුන්ටත් ගහලා මැරුවා. වර්තමානයේ ශ්‍රී ලාංකිකයින්ට විදේශීය රටවල දී ප්‍රසංසාව ලැබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවට කීර්තියක් ලැබී තිබෙනවා. සෞඛ්‍ය සේවාව අගයනවා. සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට ආභරණයක්. දුප්පත් මිනිසුන් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන්නේ.”


මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙද ආරච්චි, හම්බන්තොට නගරාධිපති එරාඡ් ප්‍රනාන්දු, දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන සුනිල් ද අල්විස් සහ කේ.එල්.බී ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.


නිපුන් ඒකනායක,


ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,