සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ඇටමිදුලු බද්ධ කිරීම් දරුවන් 30 කගේ පමණ සාර්ථකව සිදු කර තිබෙනවා. අවයව බද්ධ කිරීමත් සාර්ථකව සිදු වෙනවා ...... 2018-06-18

චීන රජයේ සහන ණය යෝජනා ක්‍රමය යටතේ රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට අනුව ප්‍රථම රෝහල ලෙස අළුත්ගම ප්‍රාදේශීය රෝහල සංවර්ධනය කිරිම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිනි.

 

අළුත්ගම රෝහලේ රුපියල් මිලියන 165 ක වියදමින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකෙරෙන අතර එහි වාට්ටු සංකීර්ණයක් ද ඇතුලත් වෙයි.

 

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “චීන රජයේ සහන ණය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 85 ක් වියදම්කර රෝහල් 13 ක් සංවර්ධනය කරනවා. එම රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ද ලබාදෙනවා. මේ වනවිට දිවයින පුරා රෝහල් රැසක් සංවර්ධනය කිරීමට මම පියවර ගෙන තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ සියළුම රෝහල් සංවර්ධනය කරන අතර, පළාත් සභා රෝහල් සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන 450 ක් වැය කරනවා. චීන ආධාර යටතේ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය මහල් 22 ක ගොඩනැගිල්ලක් ඉදිකරනවා. හෘද රෝග ඒකකය ද සංවර්ධනය කරනවා. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ශල්‍යාගාර 02 කට විෂබීජ ඇතුලත් වීම නිසා ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කිරීමට පියවර ගත්තා. නමුත් ඇතැම් මාධ්‍ය ඊට විරුද්ධව ප්‍රවෘත්ති පළ කරනවා. වෛද්‍ය විද්‍යාවේ හය හතර නොදන්නා අය තමයි එහෙම ලියන්නේ. එක විෂබීජයක් තිබුනත් රෝගියෙක් ජිවිතක්ෂයට පත් වෙන්න පුළුවන්.”

 

“අවයව බද්ධ කිරීම් අඛණ්ඩව සිදු කරනවා. ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. අක්මා බද්ධ කිරීම් ආරම්භ කළ අතර, එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා. කෙට් මානසික සුවයක් උදෙසා තමයි ඔවුන් වැඩ කරන්නේ. අක්මා බද්ධ සැත්කම් 35 ක් කොළඹ ජාතික රෝහලේ සහ රාගම රෝහලේ සිදු කර තිබෙනවා. ඇතැමුන් ගෝත්‍රික මානසිකත්වයෙන් කටයුතු කරන්නේ. විශ්ව ගම්මාන සංකල්පය ක්‍රියාත්මක විය යුතුයි. ජාත්‍යන්තරවාදය පිළිගත යුතුයි. මිනිසත්කම තිබිය යුතුයි. පාද බද්ධ කිරීම් ආරම්භ කළ අතර, එම බද්ධ කිරීමට ලක් වූ රෝගියා මේ වනවිට සුව සේ පසුවනවා. මීට පෙර ලෝකයේ පාද බද්ධ කිරීම් 04 ක් සිදු කළ අතර, එම රෝගීන් මේ වන විට මියගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංවර්ධන මාධ්‍යයක් දක්නට ලැබෙන්නේ නැහැ. විවේචන මාධ්‍යයක් පමණයි තිබෙන්නේ. පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ සිද්ධිය සතියක් පමණ ප්‍රවෘත්ති පළ කරනවා. ඒ විවේචනය කරමින්. මම ඖෂධ මිල අඩු කළ විට ප්‍රවෘත්ති පළ වුයේ ඉතාම අඩුවෙන්. නමුත් ඖෂධ මිල වැඩි වූ විට ප්‍රධාන ප්‍රවෘත්තියක් වෙනවා. වෛද්‍ය විද්‍යාවේ වයි කියන එකවත් දන්නේ නැති අයගේ ප්‍රකාශ අරන් පළ කරනවා. ඇතැම් අය ඉන්නවා වෛද්‍ය විද්‍යාවේ පියාටත් වෛද්‍ය විද්‍යාව උගන්වන අය.”

 

“ඇටමිදුලු බද්ධ කිරීම් අපේක්ෂා රෝහලේ ආරම්භ කළ අතර, මේ වනවිට දරුවන් 30 කගේ පමණ ඇටමිදුලු බද්ධ කිරීම් සාර්ථකව සිදු කර තිබෙනවා. ඒ සියලු දෙනා දුප්පත් මිනිසුන්ගේ දරුවන්. පසුගිය රජය සමයේ දුප්පත් මිනිසුන්ගේ ජිවිත බේරා ගැනීමට කටයුතු කළේ නැහැ. වර්තමානයේ දුප්පත් මිනිසුන්ගේ ජිවිත බේරා ගන්නවා. නමුත් රජය මොනව ද කලේ කියලා ඇතැමුන් අහනවා. නොමිලේ සෞඛ්‍ය සේවාව තුල ලබාදුන් ප්‍රතිලාභ පිළිබදව කවුරුත් කථා කරන්නේ නැහැ. වසරකට ලක්ෂ 12 ක් අන්ධභාවයට පත්වන අතර, ඔවුන් බේරා ගැනීම සදහා අක්ෂි කාච ලබාදීමේ නව වැඩපිළීවෙළක් ක්‍රියාත්මක කළා. එම අක්ෂි කාච බද්ධ කිරීම් නොමිලේ සිදු කරන්නේ. මේ වනවිට නොම්ලේ සිදු කරන අක්ෂි කාච බද්ධ කිරීම් වැඩි වී තිබෙනවා. පසුගිය රජය සමයේ වැරදි කළ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. පුවත්පත් කතුවරුන් පැහැරගෙන ගොස් පහර දුන්නා. වෙඩි තබා ඝාතනය කළා. නමුත් රජයට පහරදෙමින් ප්‍රවෘත්ති පළ වෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති ශිර්ෂ පාඨ පළ වනවා. දැන් මාධ්‍යවේදීන්ට කිසිදු බලපෑමක් නැහැ. රජය රක්ෂණයක් ලබාදිලා තිබෙන්නේ. වර්තමානයේ සොරකම් කළ පුද්ගලයින් අසු වෙනවා. ඔවුන් බන්ධනාගාර ගත වෙනවා. අද ඇමැතිවරුන්ගේ දරුවොත් බන්ධනාගාරගත වෙනවා. නමුත් පසුගිය රජය සමයේ රාත්‍රි සමාජ ශාලාවල ඇති වූ ගැටුම්වලට සම්බන්ධ දරුවන් බන්ධනාගාර ගත වුනා ද, ඒ කාලේ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ වූ පසු මහරජාණන්ගේ නම ගහලා එයාගේ චින්තනය කියලා දකුණේ සිට උතුරට යනකන් කටවුට් ගහනවා. නමුත් අපේ රජයේ එහෙම ප්‍රචාරක ව්‍යාපාරයක් නැහැ. මගේ චින්තනය මම විසින්ම කිය විය යුතුයි. යහපාලනයේ ඇතැම් කරුණු වෙනස් කර ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළීවෙලක් ආරම්භ කළ යුතුයි.”

 

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා මෙහිදි අදහස් පළ කරමින් මෙසේ පැවැසීය.

 

“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නිවැරදිව ගෙනයාමට සෞඛ්‍ය අමාත්‍යවරයාට හැකියාවක් ලැබී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කෙළින් වැඩ කරන මිනිහෙක්. එම අඩිපාරේම යමින් මමත් කෙළින් වැඩ කරනවා. සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ මමත් ලබාගත් පුද්ගලයෙක්. ඒ හෘද සැත්කමක් සදහා රෝහල් ගත වීමේ දී. නොමිලේ හෘද සැත්කම් සිදු කරනවා.”

 

“චීනයේ CETC Internation china සමාගමේ උපසභාපති ටියෑන් යොබින් මහතා අදහස් දක්වමින් පැවැසුවේ ශ්‍රී ලංකා රජය ජනතාවට අවශ්‍ය නිවැරදි දේ ලබාදීමට පියවර ගෙන ඇති බවයි. ශ්‍රී ලංකාව හා චිනය අතර රාජත්‍රාන්ත්‍රික සබදතා ආරම්භ කර සාර්ථකව ගෙන යනවා. එම සබදතා අඛණ්ඩව පවත්වාගෙන යමින් සහයෝගය ලබාදීමට අපි සුදානම්.”

 

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන් වන ඉෂ්ඨිකාර් ජමිල්, ප්‍රසන්න සංජීව, බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න, මහතා ඇතුලු මන්ත්‍රිවරුන් 

සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස්, කළුතර මහ රෝහලේ අධ්‍යක්ෂ ප්‍රදීප් විඡේසිංහ, චීනයේ CETC Internation china සමාගමේ උපසභාපති ටියෑන් යොබින් මහතා ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

 

 

 

නිපුන් ඒකනායක,

 

ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,