සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

දකුණේ වෛරස් උණ රෝගය වසංගත තත්ත්වයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. 2018-05-23


දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කර සිටි. දැනට පවතින තත්ත්වය පාලනය කර ඇති බවත්, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය සියලුම පහසුකම් ලබා දී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) දහවල් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් මෙසේ පැවැසීය. “දකුණේ පවතින උණ රෝග තත්ත්වය හේතුවෙන් දරුවන් 07 දෙනෙකු මියගොස් තිබෙනවා. කරාපිටිය, මාතර යන මහ රෝහල් සහ කඹුරුපිටිය මුලික රෝහල ඇතුලු රෝහල් රැසක රෝගී සත්කාරක සේවාවන් ක්‍රියාත්මකයි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසිවාරයට සහභාගී වී සිටියත් සෑම දිනකම දුරකථනයෙන් කථා කොට මේ පිළිබද කරුණු විමසා මගපෙන්වීම ලබාදෙනවා. දැනට මෙම රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ප්‍රතිකාර කිරිම සදහා අවශ්‍ය ඖෂධ, ඔක්සිජන් යන්ත්‍ර රෝහල්වලට ලබා දී තිබෙනවා. රෝගය පැතිරයාම වැළැක්වීම සදහා පාලනය කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මකයි. ඒ පිළිබදව සියලුම පළාත් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර තිබෙනවා. දැනට දකුණු පළාතේ රෝහල්වල රෝගීන් 500-600 පමණ ප්‍රතිකාර ලබනවා”


මෙම අවස්ථාවට සහභාගි වූ වසංගත රෝග විද්‍යාඥ සමිත ගිණිගේ මහතා මෙසේ පැවැසිය. “පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙම රෝග තත්ත්වය දක්නට ලැබුනා. මැයි මාසයේ මුල් සති දෙක තුල රෝග තත්ත්වය උත්සන්න වුවත් ඊට සාපේක්ෂව මේ වන විට රෝග පැතිරයාමේ අඩුවක් දක්නට ලැබෙනවා. මරණයට පත්ව ඇති දරුවන් වයස අවුරුදු 02 ට අඩු දරුවන් වන අතර, ඇතැම් දරුවන් නිව්මෝනියා තත්ත්වයට ගොදුරුව තිබෙනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය හේතුවෙන් රෝගය ඇති වී තිබෙන බව දැනට සිදු කළ පරීක්ෂණ වලින් තහවුරු වුනා. අවධානම් කණ්ඩායම් ප්‍රවේසම් විය යුතුයි. ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ යුතුයි.”


මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සරත් අමුණූගම මහතා සහ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රධාන වෛරස් විද්‍යාඥ ජූඩි ජයමහ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියේය