සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සහ නායකත්වය ජිනීවාහීදි යළි අගයයි. 2018-05-21

 
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය නායකත්වය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ඊයේ (21) පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ දී ඇගයිමට ලක්ව ඇත.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන සැසිවාරය ආරම්භ කිරිමට පෙර පොදු රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්විනි. ඒ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ස්ටාර්ලිං හෝටලයේ දීය. විශ්වීය සෞඛ්‍ය රැකවරණය පිළිබද පොදු රාජ්‍ය මණ්ඩලීය න්‍යාය පත්‍රය සාකච්ඡා කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙලෙස රැස් වූහ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමුළුවට එක්ව සිටියේය. පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් ප්‍රැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්විනි.
 
එහිදී අදහස් දැක් වූ මහලේකම්වරිය කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ශ්‍රී ලංකාව ලෝකයට දිදුලන උදාහරණයක් බවයි. “එරට ජනතාවට ලබාදෙන සෞඛ්‍ය රැකවරණය ඉතා වැදගත්. විශ්වීය මට්ටමට ආසන්න සේවාවක් ජනතාවට ලබාදෙනවා.” ජනතාවට නොමිලේ මෙන්ම දරාගත හැකි සෞඛ්‍ය සේවයකට කැපවී සිටින බව මහ ලේකම්වරිය ප්‍රකාශ කළාය.
 
පොදු රාජ්‍ය මණ්ඩලයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතුරින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලොවට ආදර්ශයක් බව මෙහිදී අනාවරණ විය. ප්‍රායෝගිකව සහ තිරසර ප්‍රතිපත්ති තුලින් සිදු කරන සෞඛ්‍ය සේවා සහ සෞඛ්‍ය සේවාවට ලබාදෙන නායකත්වය ද මෙහිදී ඇගයීමට ලක් කරන ලදි.
 
මෙම සමුළුව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේ පැවැසීය. “සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සදහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. විශ්වීය සෞඛ්‍ය රැකවරණය යථාර්ථයක් බවට පත් කිරීම සදහා තවදුරටත් කැපවෙනවා. දුප්පතුන්ට හිතවාදී සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම සදහා මට සහයෝගය දැක් වූ සැමට ස්තූතිය පුද කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලංකාවට ලැබෙන දායකත්වය අගය කරනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව පිළිබදව අවශ්‍ය තාක්ෂණික සහයෝගය සාමාජික රටවලට ලබාදීමට බලාපොරොත්තු වෙනවා.”