සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ජාත්‍යන්තර හෙද දිනය සැමැරුම් උළෙල 2018 2018-05-17

හෙද උපාධිධාරින් සදහා වෘත්තීයමය වැටුපක් ලබාදීමට අදාල පියවර ගන්නා බව සුව ඇමැති පවසයි.


ජාත්‍යන්තර හෙද දිනය සමරමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සංවිධානය කළ හෙද දින උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.


මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමත්‍යවරයා - “හෙද උපාධිධාරින් සදහා වෘත්තීයමය වැටුපක් ලබාදීමට අදාල කැබිනට් මණ්ඩල පත්‍රිකාව මම යොමු කර තිබෙනවා. හෙද උපාධිධාරින් රටට බිහි කළ යුතුයි. එම නිසයි කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ශ්‍රී ජයවර්ධනපුර රෝහල් භුමියේ හෙද පීඨයක් ස්ථාපිත කිරීමට පියවර ගත්තේ. ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 18,500 කි. පැවැති රජයේ දුර්වලතා හදුනාගෙන ඊට විරුද්ධව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා කටයුතු කළා. එය අගය කළ යුතුයි. සෞඛ්‍ය සේවකයින් වන ඔබ ජාතිය, ආගම සහ වර්ගය දෙස බලා සේවය කරන්න එපා. මනුෂ්‍යත්වය මුල් කර ගනිමින් සේවය කරන්න. අපේ රටේ ජාතිය, ආගම, කුළය දෙස බලලා ඇතැම් අය කටයුතු කරනවා. එය වැරදියි. දේශපාලනඥයින් ද එලෙස බෙදී කටයුතු කරනවා. මිනිසුන් වෙනුවෙන් සේවය කිරිම තමයි ඉතා වැදගත්. එම නිසයි සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් දියුණු වී තිබෙන්නේ. අද දින පැවැති මෙම හෙද දින උත්සවයට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පැමිණිම සුවිශේෂි අවස්ථාවක් වෙනවා.”


මෙහිදී මහජන සෞඛ්‍ය හෙද සේවාවේ නව නිල ඇදුමට අදාල චක්‍රලේඛය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදි. තව ද හෙද සේවාව නංවාලීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ග අගය කරමින් හෙද උත්මාභිමානි සම්මානයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පිදුම් ලැබීය. එම සම්මානය සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදුන්නේ ජනාධිපතිතුමා විසිනි.


මෙම අවස්ථාවට  නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, පාර්ලිමේන්තු මන්ත්‍රි ආෂු මාරසිංහ, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, වෘත්තීය සමිති නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.