සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

පාසල් අවට දුම්වැට් අලෙවිය තහනම් කිරීමේ රෙගුලාසි කඩිනමින් පනවන බව සුව අමැති කියයි. 2018-05-04


අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් පාසල් අවට මීටර් 100 ක් දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ රෙගුලාසි ඇතුලත් ගැසට් නිවේදනය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව ඉදිකළ පෝෂණ මන්දිරය අද (03) පස්වරුවේ විවෘත කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රකාශ කළේය. එම පෝෂණ මන්දිරය ඉදිකර ඇත්තේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේයි.


මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය වසර 03 තුල පෝෂණ මන්දිර 18 ක් විවෘත කර තිබෙනවා. අද විවෘත කරන්නේ 19 වන පෝෂණ මන්දිරයයි. මේ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 25 ක් වෙනවා. ඉදිරියේ දී තවත් පෝෂණ මන්දිර 05 ක් විවෘත කිරීමට නියමිතයි. යහපාලන රජය බලයට පත්වනවිට ස්ථාපිත කර තිබුනේ පෝෂණ මන්දිර දෙකක් පමණයි. පෝෂණ මන්දිර ඉදිකිරීමේ සංකල්පය තවත් ප්‍රවර්ධනය කිරීමට හේතු වූයේ බෝ නොවන රෝග වලින් ජනතාව බේරා ගැනීමටයි. එය විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක්. වසරක දී රෝහල්ගත වන්නන්ගෙන් සියයට 70 ක් පමණ මිය යන්නේ බෝනොවන රෝග වලින්. බෝවන රෝග වලින් නොවෙයි. බෝනොවන රෝග අපි මුදල් වියදම් කරලා හදාගන්නා රෝගයි. එය පරාජය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය දැවැන්ත ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. බෝවන රෝග මේ වන විට වළක්වා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. 2018 වසරේ දී මවගෙන් දරුවාට බෝවන එච්.අයි.වී රෝගයෙන් අපට නිදහස් වන්න පුලුවන්. පෝෂණ මන්දිර ඉදිකිරීමේ වැඩපිළිවෙල යටතේ ජනතාවට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමට හැකියාව ලැබෙනවා.


දුම්කොළ සදහා බදු පැනවීම ඇතුලු සිගරට් භාවිතය අවම කිරීමට ගත් ක්‍රියාමාර්ග වලදී විවිධ බලපෑම් ඉදිරිපත් වුවත් ඊට අපි යටත් වුනේ නැහැ. ජනතාව තිරිගු පිටි භාවිතයෙන් අවම කර විකල්ප පරිභෝජන සදහා යොමු කළ යුතුයි. අපේ රටේ රාජ්‍ය සේවාවත් ඒ සදහා පියවර ගත යුතුයි. නමුත් අපේ රටේ රාජ්‍ය සේවාවේ තිබෙන්නේ ලබාදෙන මුදල් වියදම් කිරීමට නොහැකි රාජ්‍ය සේවාවක්. ඒ නීති රීති සහ රෙගුලාසි හේතුවෙන්. බෝනොවන රෝග අවම කිරීම සදහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලබා දී තිබෙනවා. ඒ සදහා වූ විධිමත් වැඩපිළිවෙළක් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපි සැළසුම් සකස් කර තිබෙනවා.


මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය පී. දයාරත්න, නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති, අම්පාර දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ, අම්පාර ප්‍රාදේශිය ලේකම් එන්.එම් උපේක්ෂා කුමාරි යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.