සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීමට කියුබාවේ සහාය 2018-05-02

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා පුර්ණ සහයෝගය ලබාදෙන බව කියුබාව ප්‍රකාශ කරයි.
කියුබාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සෞඛ්‍ය සමුලුවකට සහභාගිව සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කියුබාවේ මහජන සෞඛ්‍ය අමාත්‍ය රොබේටෝ මොරාලේ ඔඡේඩා මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. කියුබාවේ මහජන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ ආරාධනාවකට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම සාකච්ඡාවට එක්විය.
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ගත හැකි පියවර රැසක් මෙහිදී සාකච්ඡා කෙරුනි. කියුබාවේ නිෂ්පාදනය කරන ඖෂධ සහ උපකරණ රජය හරහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ලබාගැනීම සදහා වූ ගිවිසුමක් අත්සන් කිරීමට ද තීරණය විය. ඒ සදහා ඉදිරියේ දී දෙරට අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතය. සෘජුව රජය හරහා ඖෂධ ලබාගැනීමේ දී විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකියාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ඒ.එල් රත්නපාල මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සුනිල් ද අල්විස් මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරී උපුල් ගුණසේකර මහතා එක්ව සිටියහ.