සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

හලාවත මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති 11 කට මුල්ගල් තැබීම සහ විවෘත කිරීම... 2018-03-19

 
හලාවත මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති 11 කට මුල්ගල් තැබීම සහ විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ සිදු කරන ලදි.
 
රුපියල් මිලියන 762 ක වියදමින් ඉදිකෙරන හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයට මුල්ගල් තැබීම සහ පස් මහල් වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම පළමුව සිදු විය. ඉන් පසු ඊ-හෙල්ත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, පිළිකා රෝග ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම, සීටී ස්කැනර් යන්ත්‍රය පරිත්‍යාග කිරිම, රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විවෘත කිරීම, රුධිර කාන්දුපෙරණ ඒකකය විවෘත කිරීම, රෝහල් අපද්‍රව්‍ය වලින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීම සහ රෝහල් ආපන ශාලාව විවෘත කිරීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කරන ලදි.
 
ඉන් පසු පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “වර්තමානයේ රෝහල්වල ඖෂධ හිගයක් නැහැ. මෘදුකාංගයක් හදුන්වා දී තිබෙනවා. එම මෘදුකාංගයට අනුව ඕනෑම රෝහලිකින් ඖෂධ ලබාගැනීමේ හැකියාව රෝහල් අධ්‍යක්ෂවරයාට ලබාදී තිබෙනවා. රෝහලක ඖෂධ හිගයක් පවතින්නේ නම් එය රෝහල් අධ්‍යක්ෂවරයාගේ දුර්වලකමක්. කොළඹ ජාතික රෝහලට පමණක් සීමා වී තිබු හදිසි අනතුරු සේවාව මේ වනවිට රෝහල් 120 ක ක්‍රියාත්මක වෙනවා. තවත් එවැනි ඒකක 20 ක් පමණ ඉදිකරනවා. රුධිර පාරවිලයන මධ්‍යස්ථාන රෝහල් 142 ක ස්ථාපිත කර තිබෙනවා. සියලුම රෝහල් වසර 2020 වනවිට ඊ-හෙල්ත් ව්‍යාපෘතියට අනුගත කිරීමටයි මා සැළසුම් කර ඇත්තේ. 2016 වසරේ දී රෝහල් 50 ක් ද 2017 වසරේ දී රෝහල් 150 ක් ද ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කර තිබෙනවා. 2018 වසරේ දී රෝහල් 300 ක ඊ-හෙල්ත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ. ඉදිරි අනාගතයේ දී ඊ-හෙල්ත් කාඩ්පත සෑම පුරවැසියෙකුටම ලබාදීමට අපි සැළසුම් කර තිබෙනවා. කිසියම් පුද්ගලයෙකුගේ සියලුම සෞඛ්‍ය වාර්තා එම කාඩ්පතේ ඇතුලත්වීම නිසා කඩිනමින් ප්‍රතිකාර කිරීමේ හැකියාව වෛද්‍යවරුන්ට ලැබෙනවා. අපේ රටේ සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, යුනිසෙෆ් ආයතනය අගය කරමින් නිවේදන නිකුත් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක සෞඛ්‍ය දිනය මෙවර පවත්වන්නේ ශ්‍රී ලංකාවෙයි. ඒ අප්‍රේල් මස 07 දායි.”
 
“අපේ රජයේ යම් යම් වැරදි තිබෙන්න පුලුවන්. නමුත් කිසියම් දිශානතියකට අනුවයි රජය ගමන් කරන්නේ. ජනතාවට සහන සළසමින්. පසුගිය රජය සමයේ සිදු වූ වංචා දුෂණ හා මනුෂ්‍ය ඝාතන පරීක්ෂණ කඩිනම් කරිම සදහා අග්‍රාමාත්‍යවරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ මමත් සාමාජිකයෙක්. එම කමිටුවට ලැබී ඇති ලිපිගොනු පරීක්ෂා කිරීමේ දී වර්තමානයේ පැහැරගැනීම් හා මනුෂ්‍ය ඝාතන කිසිවක් සිදුවන්නේ නැහැ. නමුත් එම ලිපිගොනු පරීක්ෂා කිරීමේ දී පසුගිය රජය සමයේ දී පැහැරගැනීම් සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුව තිබෙනවා. නමුත් ඒ අතීතය අද මිනිසුන්ට මතක නැහැ. අද මතක පොල් ගෙඩියේ සහ සහල් මිල පමණයි. එම නිසයි වෙළුපිල්ලේ ප්‍රභාකරනුත් කිවේ සිංහලයාට ඕනම දෙයක් මතක සති දෙකක් විතරයි කියලා.”
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ අධ්‍යක්ෂවරුන්, හලාවත රෝහලේ අධ්‍යක්ෂවරයා, වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.