සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

අනුරාධපුර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සදහා මුල්ගල් තැබීම 2018-03-19

 
වෛද්‍යවරුන්ට වසර 05 කට වරක් රථවාහන බලපත්‍රයක්.
 
සෞඛ්‍ය පෞද්ගලීකරණය නොකරන බවට සුව ඇමතිගෙන් සහතිකයක්.
 
අනුරාධපුර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් භුමියේ දී අද (17) පස්වරුවේ සිදු කෙරිනි. ඒ අටමස්ථානාධිපති නා හිමිවරුන්ගේ සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේයි. මෙම ඒකකය සදහා වැය කරන මුදල රුපියල් මිලියන 528 කි.
 
මෙහිදි උත්සව සභාව ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා - අනුරාධපුර මහ රෝහල ඉදිකර වසර 168 ක් ගත වෙනවා. මෙම රෝහලේ දෛනිකව සිදු කරන රෝගී සත්කාරක සේවාවන් වැඩි වී තිබෙනවා. මෙම රෝහල සංවර්ධනය කිරීම සදහා 2014 වසරේ දී රුපියල් මිලියන 219 ක් ද, 2016 වසරේ දී රුපියල් මිලියන 1237 ක් ද, 2017 වසරේ දී රුපියල් මිලියන 3189 ක් ද, වැය කර තිබෙනවා. 2014 හා සැසදීමේ දී මේ වනවිට සංවර්ධනය සදහා දසගුණයකට අධික මුදලක් වියදම් කර තිබෙනවා.
 
යහපාලන රජය සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා රජයක්. පොලීසිය රාජ්‍ය සේවාව බලපෑම් වලින් නිදහස් කර තිබෙනවා. එවැනි නිදහසක් ලබාදුන්නත් නීතිය හා සාමය විනාශ කිරීමට කාටවත් ඉඩ ලබාදෙන්නේ නැහැ. අපි මානව සම්පත හැදීමට මූලිකත්වය ලබාදෙනවා. එහිදී සෞඛ්‍ය සහ අධ්‍යාපනය සදහා වැය කරන මුදල ඉතාමත් අධිකයි. මැතිවරණ වේදිකාවේ දී යහපාලනය අර්ථ දක්වන්නේ පොල්බෑයේ සහ හාල්වල මිල ගණන් වලට අනුවයි. නිදහස් සෞඛ්‍ය සේවාවට ප්‍රතිලාභ ලබා නොදී පසුගිය රජය බිලියන ගණන් මුදල් හොරකම් කර තිබෙනවා. නමුත් අපේ රජය එම මුදල් ඉතුරු කර සෞඛ්‍ය සේවාව නංවාලීමට කටයුතු කළා. අපේ රටේ පොල් බෑයට ආණ්ඩු පෙරළීමටත් හැකියාව ලැබුනා. අපේ රටේ ඡන්දය ලබාදෙන්නේ ජනප්‍රිය සටන් පාඨ වලටයි. මව් බිම නැත්නම් මරණය ඒ එක සටන් පාඨයක්. තවත් සටන් පාඨ තිබෙනවා. නමුත් පසුගිය කාලයේ තරුණ පරපුරට මේ රටේ දේශපාලනය එපා වී තිබුනා. එම නිසයි දුෂණයට භීෂණයට එරෙහිව ඔවුන් කටයුතු කළේ. රජය තුල දුර්වලකම් තිබෙන්න පුලුවන්. නමුත් එම දුර්වලකම් නිවැරදි කර රජය ඉදිරියට ගමන් කරනවා. අක්ෂි කාච, ස්ටෙන්ස්, මිල අඩු කිරීම ගැන කථා කරන්නේ නැහැ. එම උපකරණ වල මිල අඩු වුනේ ලක්ෂ ගණන් වලින්. නමුත් රුපියල් 50 කින් වැඩි වූ පොල් ගෙඩිය ගැන තමයි කථා කරන්නේ.
 
සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ මම සිටිනකම් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මමත් සමාජවාදයෙන් උපන් දේශපාලනඥයෙක්. ඉදිරියේ දී සෑම රෝහලකම ප්‍රතිකාර ලබන රෝගීන්ට ප්‍රතිකාර සදහා වැය වූ මුදල ඇතුලත් බ්ල්පතක් නිකුත් කරනවා. මුදල් ලබාගන්නේ නැහැ. නොමිලේ ප්‍රතිකාර කරන්නේ. නමුත් ජනතාව දැනගත යුතුයි ප්‍රතිකාර සදහා වැය වන මුදල කොපමණ ද කියලා. පෞද්ගලික රෝහල්වලින් අයකරන විවිධ මිල ගණන් නියාමනය කිරීමට පියවර ගෙන තිබෙනවා. පෞද්ගලික රෝහල් සංගම් වලින් ඉල්ලීමක් කර තිබෙනවා වෛද්‍යවරුන්ගෙන් අය කරන ගාස්තු ඉවත් කර අනෙක් ඒවා නියාමණය කිරීමට පුලුවන් ද කියලා. අපි ඒ පිළීබදව සාකච්ඡා කරනවා. වෛද්‍යවරුන්ට හොද වැටුපක් ලබාදිය යුතුයි.
 
වෛද්‍යවරුන් සදහා වසර 05 කට වරක් රථවාහන බලපත්‍රය ලබාදීමට මම ඉදිරියේ දී කටයුතු කරනවා. නමුත් ඇතැම් සංගම් රැකියා ලබාදීමේ දී සටන් පාඨ කියලා කෑ ගහනවා. ආයුර්වේද වෛද්‍යවරුන් 900 කට පත්වීම් ලබාදීමට අනුමැතිය ලබාගත්තේ මමයි. නමුත් එක්තරා දේශපාලන පක්ෂයක සාමාජිකයින් ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් පාරට බස්සවා විරෝධතා පැවැත්වූවා. මොකද අපේ විරෝධතාවය නිසා රැකියා ලබාදුන්නා කියලා ජනතාවට කියන්න. ඉදිරියේ දී කණිෂ්ඨ කාර්ය සේවකයින් 4198 ක් ද ස්ථීර කරනවා.
 
මෙහිදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය පැවැත් වූ අත්කම් ප්‍රදර්ශණයේ ජයග්‍රාහකයින්ට සම්මාන පිරිනැමීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කරන ලදි.
 
මෙම අවස්ථාවට අමාත්‍ය පී. හැරිසන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඇතුලු වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.