සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ජාතික සුව සේවා ප්‍රදර්ශණය සුව ඇමැති අතින් විවෘත කෙරේ. 2018-03-02


ජාතික සුව සේවා ප්‍රදර්ශණය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.


මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෝකය විසින් අගය කර තිබෙනවා. ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ අතර ප්‍රධානයි. එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානය බෝනොවන රෝග පිළිබද සම සභාපතිත්වයක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ලබා දී තිබෙනවා. එහි වගකීම් ජනාධිපතිවරයා විසින් මට පවරා තිබෙනවා. තව ද ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අගය කරමින් නිවේදනයක් ද නිකුත් කළා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ඇගයීමට ලක්ව තිබෙනවා. යහපාලන රජය මොනවද කළේ කියලා සමහරු අහනවා. අපේ රජය මුදල් මත රදා පවතින්නේ නැහැ. මිනිසත්කම මතයි රදා පවතින්නේ. පසුගිය රජය සමයේ මිනිසත්කම පසෙක ලා හදුනා ගත්තේ පාලම් සහ මාර්ග ඉදිකිරිම පමණයි. පිළිකා රෝගීන්ට, හෘද රෝගීන්ට, අක්ෂි රෝගීන්ට සහන සැළසීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කර තිබෙනවා. නොමිලේ සෞඛ්‍ය සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. වර්තමානයේ ජනතාවට සත පහක වියදමක් නැතිව නොමිලේ සෞඛ්‍ය සේවාව ලබාගන්න පුලුවන්. රටක අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරිම ඉතා වැදගත්.”


මෙම අවස්ථාවට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් Taranjit Singh Sandhu මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා ෆෙන්සි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අධ්‍යක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.