සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

බස්නාහිර පළාතේ රෝහල්වල රෝගීන් සහ ශල්‍යකර්ම සදහා භාවිත කරන රෙදි පවිත්‍ර කිරීම නව තාක්ෂණයෙන් 2018-02-26


බස්නාහිර පළාතේ රෝහල්වල ශල්‍යකර්ම සදහා සහ රෝගීන් භාවිත කරන රෙදි නවීන තාක්ෂණය ඔස්සේ විෂබීජ විනාශ කරමින් පිරිසිදු කිරීම සදහා ඉන්දීය සමාගමක් සමග ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පසුගියදා සිදු කරන ලදි. ඉන්දියාවේ සුග්‍රාම් හොස්පිටල් සොලුෂන් පෞද්ගලික සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අත්සන් කළ ගිවිසුමේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක් වෙයි.


සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස මහතා සහ සමාගමේ සභාපතිනී මුනීෂා බාලෙන් මහත්මිය අතර මෙම ගිවිසුම අත්සන් කරන ලදි.


එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “පිරිසිදු භාවයෙන් යුත් රෝහලක් නිර්මාණය කිරිම මගේ අරමුණයි. සෞඛ්‍ය සේවය නිදහස් සෞඛ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යාම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අගය කර තිබෙනවා. මෙතෙක් මුදල් අය කර සිදු කළ ප්‍රතිකාර සේවා සියල්ලම නිදහස් කර තිබෙනවා. නොමිලේ ලබාදෙන සෞඛ්‍ය සේවාව කිසිදු වෙනසකට භාජනය කරන්නේ නැහැ. නවීන තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය සේවාවන් සිදු කිරිම අපගේ අරමුණයි. පිරිසිදු රෝහල් සංකල්පය යටතේ විෂබීජ විනාශ කිරිම ඉතාම වැදගත්. පිරිසිදු සේවාවන් ලබාදීමට සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට පියවර ගන්නවා. මෙම ව්‍යාපෘතියේ සංකල්පයත් පිරිසිදු රෝහලක් යන්නයි. ඇතැම් රෝහල්වල සුදුපාට ඇතිරිලි දුඹුරු පාට වී තිබෙනවා. විෂබීජ විනාශ වෙන්නේ නැහැ. මොකද මෙම ඇද ඇතිරිලි සෝදන්නේ බේරේ වැවේ ජලයෙන්. මෙම ව්‍යාපෘතිය යටතේ විෂබීජ විනාශ කළ හොද ඇතිරිලි ලැබෙනවා. රෝග නිවාරණය වීමට පිරිසිදුකමත් ඉතාම වැදගත්.”


“තවත් අතකින් වීනීතව කථා කිරීමත් ඉතා වැදගත්. රාජ්‍ය සේවය හදන එක ඉතාම අපහසුයි. අපේ රටේ මාධ්‍ය කාථා කරන්නේ විවේචන පමණයි. නමුත් වෙනත් රටවල සංවර්ධනය පිළිබදවත් අවධානය යොමු කරනවා. මෙම ව්‍යාපෘතියට අමතරව සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ ව්‍යාපෘතියක් ඉදිරියේ දී ආරම්භ කරනවා. ඒ ඔස්ට්‍රේලියානු සමාගමක් සමගයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ නිරෝගී දරු උපත් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නවා. එය ඇමරිකා එක්සත් ජනපදයේ සංඛ්‍යා ලේඛණ වලට සමානයි. එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලැබූ ජයග්‍රහණයක්. රට දියුණූ කිරීම සදහා ආයෝජන අවශ්‍යයයි. ලක් රජයට පමණක් තනියෙන් සිදු කරන්න බැහැ. පසුගිය රජය සමයේ ලබාගත් ණය වල විශාලතම ණය මුදල් ගෙවිමට ඇත්තේ 2019 සහ 2020 යන වසර වලදී යි. මෙම ව්‍යාපෘතිය පිළිබදවත් විවේචන එල්ල වී තිබෙනවා. නමුත් මම කියන්න කැමැතියි වර්තමානයේ රෙදි පවිත්‍ර කිරීම සදහා රෝහල් වලින් වැය කරන මුදලට වඩා අඩු මුදලක් තමයි නව ව්‍යාපෘතිය යටතේ වැය වන්නේ. වසර 03 ක කාලයක් මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව එකම මුදලකට අනුව සිදු කරනවා. නමුත් ව්‍යාපෘතිය අනුමත කිරීමට වසර 2 ක කාලයක් අපට ගත වුනා. බස්නාහිර පළාතෙන් ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය ඉදිරියේ දී දිවයිනේ අනෙකුත් පළාත් වල ද ක්‍රියාත්මක කිරීමට සුදානම් වනවා.”


මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන මහත්වරුන් සහ විශාල පිරිසක් එක්ව සිටියහ.