සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට සුව ඇමැති පොරොන්දු ඉටු කරයි. 2018-02-19


ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 650 කට පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පසුගියදා පැවැත්විනි.


එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “2002 වසරේ සිට අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලට ආයුර්වේද වෛද්‍යවරුන් පත් කිරිම පිළිබදව කැබිනට් පත්‍රිකා ඉදිරිපත් වුනා. අවස්ථා ගණනාවක දී එම කැබිනට් පත්‍රිකා යටපත් වුවත්, අවසානයේ ආයුර්වේද වෛද්‍ය පත්වීම් 25 ක් පමණ අනුමත කරනවා. මම සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ පසු ආයුර්වේද වෛද්‍ය සංගම්, ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා පැවැත්වූවා. ඒ සියලු දෙනාටම මම ප්‍රකාශ කළා රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරීන්ට රැකියා ලබාදීමට පියවර ගන්නා බව. ඒ අනුව 2015 පෙබරවාරි 28 දින ඊට අදාල කැබ්නට් පත්‍රිකාව යොමු කළ අතර, එයට කැබිනට් අනුමැතිය හිමිවුයේ මැයි මස 27 දායි. ඉන් පසු 2016 වසරේ දී ආයුර්වේද වෛද්‍යවරුන් 107 දෙනෙකු බදවා ගනු ලැබුවා. අද දින තවත් ආයුර්වේද වෛද්‍යවරුන් 650 ක් බදවා ගන්නවා. එම බදවා ගැනීමත් සමග රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා ලබාදී තිබෙනවා.  බදවා ගැනීමට ප්‍රමාදයක් ඇති වුයේ කළමණාකරණ දෙපාර්තමේන්තුවට බදවා ගැනීමේ තනතුරු අනුමත කිරිම සදහා යොමු කළ පසු කරුණු පෙන්වාදීම හේතුවෙන්.”


“ප්‍රජා ආයුර්වේද වෛද්‍ය සේවය ද ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි වෙනතුරු පිළිගැනීමකට ලක්ව තිබුනේ නැහැ. එක්සත් ජාතික පක්ෂ රජයක් තුල දී තමයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශයක් මුල්වරට ස්ථාපිත කළේ. එහි අමාත්‍යවරයා වුයේ වි.ජ.මු ලොකු බණ්ඩාර අමාත්‍යවරයායි. දේශීය වෛද්‍ය ක්‍රමය නවිනව ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සදහා මම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ රැසක් ආරම්භ කර තිබෙනවා. වෛද්‍යවරුන්ගෙන් සමන්විත ආයුර්වේද සභාවක් ස්ථාපිත කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව වගෙයි. ආයුර්වේද දෙපාර්තමේන්තුව ද යාවත් කාලීන කර තිබෙනවා. ආයුර්වේද වෛද්‍යවරුන්ට පෞද්ගලික වෛද්‍ය සේවය ඉටු කිරීමේ අවස්ථාවත් ලබා දී තිබෙනවා. ඖෂධ සංග්‍රහයක් සකස් කර ඇති අතර, ආයුර්වේද පරීක්ෂණ විදිමත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. මෙම නව වැඩපිළිවෙලට විරුද්ධව සම්ප්‍රදායිකව කටයුතු කරන පිරිසකුත් ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉන්නවා. ඔවුන් හදන්නේ ගමේ වෙද මහත්තයෙක් බිහි කරන්න පමණයි. ඊට තරුණ වෛද්‍ය ප්‍රජාව කැමැති නැහැ. සම්ප්‍රධායිකව සිතන පිරිස වෙනස් වීමටත් සිතන්නේ නැහැ. එවැනි පිරිස් මහරගම නාවින්න ආයුර්වේදයේ සහ පර්යේෂණායතනයෙත් ඉන්නවා. නව පර්යේෂණ කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඒවාට විරුද්ධ වන අයත් ඉන්නවා. සහයෝගය ලබාදෙන අයත් ඉන්නවා. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ දත්ත පද්ධතියක් සකස් කර ව්‍යාජ වෛද්‍යවරුන් සොයාගැනීමේ ක්‍රමයක් ද අපි ආරම්භ කර තිබෙනවා. අපේ වෛද්‍ය ක්‍රමය මෙයයි. ඔබලාට බටහිර වෛද්‍යවරුන්ට ලැබෙන පිළිගැනීම නොලැබුනත් සැලෙන්න එපා. ඔබත් වෛද්‍යවරයෙක්. පිළිගැනීමට ලක්වන අයුරින් කටයුතු කරන්න.”


මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, අතිරේක ලේකම්වරුන් වන ගීතාමනී කරුණාරත්න සහ එල්.එච් තිලකරත්න, ආයුර්වේද කොමසාරිස් මංගලා කරුණාතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.