සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

රජය අවයව බද්ධයක - සුව ඇමැති කියයි. 2018-02-19

 
රජය අවයව බද්ධයක -  සුව ඇමැති කියයි.
 
අවයව දන් දෙන රෝගීන්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල් සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පාලන අධිකාරියෙන් අද (18) ඉල්ලා සිටියේය. එවැනි රෝගීන්ට සහන ලබාදිය යුතු බවත්, ඉදිරියේ දී එම තීරණය නියෝගයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තමා බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
 
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල විසින් සංවිධානය කළ අවයව දන්දීමේ දින පාගමනට අද (18) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු සංකීර්ණය අසල සිට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල් භුමිය දක්වා පාගමන පැවැති අතර, ඉන් පසු උත්සව සභාවක් ද පැවැත්විනි. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රථම වරට අවයව දන් දුන් සිවු දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සම්මාන ද පිරිනමන ලදි.
 
මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “රජය මේ වනවිට අවයව බද්ධ කරන වෙලාවකයි සිටින්නේ. ඒ වුනත් ජනතාවගේ අවයව රැකගැනීම ඊට වඩා වැදගත්. 2015 වසරේ දී මම සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්වන විට අවයව බද්ධ කිරීම කඩාකප්පල් වී තිබුනා. නමුත් ඉන් පසු අක්මා බද්ධය ආරම්භ කළ අතර, පසුව හෘද බද්ධ කිරීම් පවා සිදු කළා. අනුරාධපුරය, මහනුවර, පේරාදෙනිය, ශ්‍රී ජයවර්ධනපුර යන මහ රෝහල්වල දී අවයව බද්ධ කිරීම් සිදු කරනවා. මෙහිදී හෘද බද්ධය විශේෂිත වුනා. මමත් මහනුවරට ගොස් වෛද්‍යවරුන් සහ රෝගියා හමු වී අවශ්‍ය පහසුකම් ලබාදුන්නා. නමුත් දෙවන හෘද බද්ධය අසාර්ථක වුයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අරගලය හේතුවෙන්. මානව දයාවෙන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස සිතා බද්ධ කිරීම් සිදු කළ යුතුයි. ජාති, ආගම්, කුලය බලන්න එපා.”
 
“විදේශීය ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ දී සිදු කරන වකුගඩු බද්ධ කිරීම් තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ ඉන්දීය ජාතිකයින් පිරිසක් විසින් පසුගිය කාලයේ සිදු කළ ජාවාරමක් හේතුවෙන්. ජාවාරම් වලට මම ඉඩදෙන්නේ නැහැ. නමුත් සිංගප්පුරුවේ සිදු කරන වකුගඩු බද්ධ කිරීම් නීතිරීති සහ රෙගුලාසි අධ්‍යයනය කර එය ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ නම් ඉදිරියේ දී පනවා ඇති තහනම තාවකාලිකව ඉවත් කරනවා. හැබැයි ජාවාරම් සිදු කරන්න ඉඩ දෙන්නේ නැහැ. බද්ධ කිරීම් අතරින් ආසියාව ඉහළ ස්ථානයක සිටිනවා. ඇතැම් බද්ධ කිරීම් පිළිබදව මාධ්‍යය විවිධ ව්‍යාජ මත පතුරුවනවා. අවයව බද්ධ කිරීම වැනි වෛද්‍ය ක්‍රම පිළිබදව විශේෂඥ දැනුමක් ඇති  වෛද්‍යවරුන්ගෙන් විමසා මාධ්‍යයේ පළ කළ යුතුයි. හිතේ කහට තිබෙන වෛද්‍යවරුන්ගෙන් ඒ පිළිබදව දැනගෙන කරුණු ඉදිරිපත් කිරීම ගැටලු සහගතයි. මමත් වෛද්‍ය විද්‍යාව තවදුරටත් හදාරනවා. සෑම වෛද්‍යවරයෙක්ම එහෙමයි. වෛද්‍ය විද්‍යාව දිනෙන් දින වෙනස් වෙනවා. අනෙක් වෘත්තීයවේදීන් ද ඒ අයුරින් අධ්‍යයනයක නිරත වෙනවා. දැනට අවයව බද්ධ කිරීම් සිදුවන්නේ ප්‍රධාන රෝහල් කීහිපයක විතරයි. නමුත් ඉදිරියේ දී තවත් රෝහල් කිහිපයක අවයව බද්ධ කිරීම් ආරම්භ කරනවා. ඇතැම් වෛද්‍යවරුන් ද ඊට උනන්දුවක් දක්වනවා. එය කඩාකප්පල් නොකර සහයෝගය ලබාදිය යුතුයි. සෑම පුද්ගලයෙකුටම වෛද්‍ය දැනුම අවශ්‍යයයි. මිථ්‍යා මත පතුරුවන්න එපා. මම සෞඛ්‍ය අමාත්‍යධූරයේ රැදී සිටින තුරු අවශ්‍ය සහයෝගය ලබාදෙනවා.”
 
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න ඇතුලු වෛද්‍යවරු රැසක් එක්ව සිටියහ. 
 
මෙයට අදාල දර්ශණ හා හඩපට https://youtu.be/g-VdOsHN_44 ඔස්සේ ලබාගත හැක.