සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

රුපියල් මිලියන 3400 ක් වැය කරමින් බේරුවල මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත නව මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීම 2018-01-29

 
පෞද්ගලික රෝහලක ජාවාරමක් සුව ඇමැති හෙළි කරයි.
 
රුපියල් මිලියන 3400 ක් වැය කරමින් බේරුවල මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත නව මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් භූමියේ දී ඊයේ (27) පස්වරුවේ සිදු කරන ලදි.
 
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “බේරුවල රෝහල මුලික රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. මෙම රෝහල බෝඩ් ලෑල්ලට පමණක් මුලික රෝහලක් වන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය ශල්‍ය, ළමා, නාරිවේද, වෛද්‍ය යන ක්ෂේත්‍ර සදහා විශේෂඥ වෛද්‍යවරුන් ද ලබාදෙනවා. මෙම රෝහලේ අඩුපාඩු සකස් කිරීම සදහා රුපියල් මිලියන 100 ක් මීට පෙර වැය කර තිබෙනවා. අලුත්ගම රෝහල සහ දර්ගා නගර රෝහල ද සංවර්ධනය කරනවා. කලුතර මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට ද කටයුතු කර තිබෙනවා. හදිසි අනතුරු අංශය, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන, ළමා හා මාතෘ රෝහල ඇතුලු සියලුම අංශ මෙහි සංවර්ධනය කරනවා. ශ්‍රී ලංකාවේ දෙවන ළමා හා මාතෘ රෝහල ඉදිකරන්නෙත් කලුතර ගල්අස්ස ප්‍රදේශයේ. පානදුර රෝහල ජර්මන් ණය ආධාර යටතේ රුපියල් මිලියන 2600 ක් වැය කරමින් සංවර්ධනය කරනවා. හොරණ මුලික රෝහලත් සංවර්ධනය කරනවා. හදිසි අනතුරු අවම කර ගත යුතුයි. නිදහස් සෞඛ්‍ය සේවාව නිවැරදි ආකාරයට ජනතාවට වර්තමානයේ හිමි වෙනවා. ඖෂධ හිගයක් රෝහල් තුල නැහැ.අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිබෙනවා. එම මිල අඩු කළේ ද ඖෂධ සමාගම් වල බලපෑම් යටතේ යි. ඖෂධ මිල අඩු කළ අවස්ථාවේ දී සේනක බිබිලේ මහතාගේ බිරිද ප්‍රකාශ කළා මහාචාර්ය සේනක බිබිලේ මහතා අද යළි ඉපදුනා කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක සෞඛ්‍ය දිනය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා ශ්‍රී ලංකාව තරම් සුදුසු රටක් නැහැ කියලයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ. ජනතාව වෙනුවෙන් ගත් තීන්දු තීරණ මම අකුරට ක්‍රියාත්මක කරනවා. එම නිසා මා සමග දුම්කොළ, ඖෂධ සමාගම් තරහයි. ස්ටෙන්ස් සහ අක්ෂි ගෙන්වන සමාගමුත් තරහයි.”
 
මම පෙබරවාරි 04 වනදා වන විට පෞද්ගලික රෝහල් නියාමනය කරනවා. පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට පුර්ණ සහනයක් ලබාදෙනවා. අද දින මට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රෝගියෙක් කථා කළා. එම රෝගියා රෝහලට ඇතුලත් කර ඇත්තේ හෘද සැත්කමක් සදහායි. එම පෞද්ගලික රෝහල රෝගියාට පළමුව ප්‍රකාශ කර තිබෙනවා හෘද සැත්කම සදහා රුපියල් ලක්ෂ 07 ක මුදලක් වැය වෙනවා කියලා. සැක්කම සිදු කළ පසු රුපියල් ලක්ෂ 12 ක් ඉල්ලා තිබෙනවා. නමුත් රෝගය සුව නොවීම නිසා එම රෝගියා තවමත් ඉන්නේ රෝහලේ. මේ වන විට බිල රුපියල් ලක්ෂ 18 ක් වෙලා. මේ නිසා රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. එම නිසයි පෞද්ගලික රෝහල් නියාමනය කළ යුත්තේ.
 
මෙම අවස්ථාවට බේරුවල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඉෂ්ඨිකාර් ජමිල්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත බෙනරගම, කලුතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විඡේසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
 
මෙයට අදාල දර්ශණ හා හඩපට https://youtu.be/4EQx5Fr9xg8 ඔස්සේ ලබාගත හැක.