සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

ප්‍රථම ජාතික සෞඛ්‍ය නාලිකාව එළිදකී. 2017 වසරේ බෝනොවන රෝග වලින් 137000 ක් මරුට. 2018-01-22

 
“Life TV” හෙවත් ජාතික සෞඛ්‍ය නාලිකාව ජාතියට දායාද කිරීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩි හෝටලයේ දී පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්විනි.
 
 
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - වර්තමානයේ ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය පිළිබද කථිකාවතක් ඇති වී තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවාව දියුණු කිරිම සදහා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන්. විශේෂයෙන්ම දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ දී රෝහල් 300 ක් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කරනවා. වසර 2020 වනවිට රෝහල් 1000 ක් මෙම ව්‍යාපෘතියට ඇතුලත් කිරීම මාගේ අරමුණයි. මහනුවර මහ රෝහල් භූමියේ ඉදිකෙරෙන තැලසීමියා ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන ඔක්තෝබර් මාසයේ දී විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා. දැනට තැලසීමියා රෝගීන් 3000 ක් දිවයින පුරා සිටින බව අනාවරණ වී තිබෙනවා. ඔවුන්ගේ ඇටමිදුලු බද්ධ කිරිම ආරම්භ කරමින් ජිවිත බේරා ගැනීමට මා සැළසුම් කර තිබෙනවා. වෛද්‍ය විද්‍යාවේ පියාගේ න්‍යාය පවා මේ වන විට වෙනස් කරමින් ජාන තාක්ෂණ විද්‍යාව ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ පිළිබදව ශ්‍රී ලාංකිකයින්ට අවබෝධයක් ලබාදීම අපගේ වගකීමක්. බෝනොවන රෝග අභියෝගයක්. ජීවන රටාව සහ ව්‍යායාම නොකිරීම ඊට හේතු වී තිබෙනවා. 2017 වසරේ දී බෝනොවන රෝග වලින් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 137000 ක් මියගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා. මේ පිළිබද සමාජ කථිකාවතක් ඇති කළ යුතුයි.
 
රූපලාවන්‍ය ක්ෂේත්‍ර යේ දී කිසියම් පුද්ගලයෙකුගේ ශරීරයේ පැහැය වෙනස් කිරීම සදහා එන්නත් ලබාදෙනවා. ඇතැම් වෛද්‍යවරුන් නිවැරදි මාත්‍රාවට අනුගත නොවී එන්නත් ලබාදීම පිළිබද පැමිණිලි ලැබී තිබෙනවා. එවැනි ප්‍රතිකාර ක්‍රම පිළිකාකාරකයි. ඇතැම් ආලේපනවල තිබෙන්නේ රසදියයි. එය පිළිකා ඇතිවීමට බලපා තිබෙනවා. එම නිසා එවැනි ප්‍රතිකාර ක්‍රම කළමණාකරණය කළ යුතුයි. සෞඛ්‍ය තොරතුරු පිළිබද නිවැරදි කරුණු ජනතාවට ලබා දිය යුතුයි. ඇතැම් මාධ්‍ය මගින් සෞඛ්‍ය තොරතුරු සත්‍ය අසත්‍යතාවය නොදැන තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයන් මතුව තිබෙනවා. සෞඛ්‍ය පිළිබද තොරතුරු ලබාදෙන රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට මා සැළසුම් කළේ වසර ගණනාවකට පෙරයි. එම සිහිනය අද සැබෑ වී තිබෙනවා. සෞඛ්‍ය පිළිබද තොරතුරු නිවැරදි ලෙස ජනතාවට ලබාදීම අපගේ වගකීමක්. මම කියන්න කැමැතියි සිරිලක නිරෝගී කළ සෞඛ්‍ය නාලිකාව මෙය වන බව.
 
මෙහිදි Family නමින් සෞඛ්‍ය සගරාවක් ද එළිදක්වන ලදි.
 
මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර මහතා ඇතුලු වෛද්‍යවරුන් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියහ.
 
මෙයට අදාල දර්ශණ හා හඩපට https://youtu.be/dujdpGz9-E4 ඔස්සේ ලබාගත හැක.