සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාව

 

SPMC ඖෂධ නිෂ්පාදන ධාරිතාවය බිලියන 4 දක්වා වැඩි කිරීමට සුව ඇමැතිගෙන් තීරණයක්. 2018-01-04

SPMC ඖෂධ නිෂ්පාදන ධාරිතාවය බිලියන 4 දක්වා වැඩි කිරීමට සුව ඇමැතිගෙන් තීරණයක්.


රාජ්‍ය ඖෂධ නීෂ්පාදන නීතිගත සංස්ථාවේ 30 වන සංවත්සරය සැමරිම සදහා වෙන්කර තිබු මුදලින් කොළඹ ජාතික රෝහලට රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා ශල්‍ය උපකරණ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම රෝහලේ දී සිදු කෙරිනි.


මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතන මේ වන විට ලාභ ලබන තත්ත්වයට පත්කර තිබෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ලාභ ලබන අතර, ඖෂධ නිෂ්පාදනය කිරීම ද වැඩි කර තිබෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ද ලාභ ලැබූ අතර, එහි ලාභයෙන් කොටසක් සේවකයින්ට ලබාදීම ද සිදු කළා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා ගිවිසුම් 38 ක් අත්සන් කර තිබෙනවා. එහිදී බලාපොරොත්තු වන්නේ 2019 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරට දීම නිෂ්පාදනය කර ගැනීමයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ බිලියන 2 ක් වන ඖෂධ නිෂ්පාදනය බිලයන 4 දක්වා වර්ධනය කිරීමට ඉදිරියේ දී කටයුතු කරනවා. ඒ සදහා නව නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ද මේ වන විට ඉදිවෙනවා. නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරිම තුලින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ලාභය රුපියල් බිලියන 5 දක්වා වැඩි කිරීමට අවස්ථාව සැළසෙනවා.”


“සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා 2018 වසරේ දී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ යුතුයි. එහිදී ප්‍රමුඛ අවධානය යොමු කරන්නේ බෝනොවන රෝග පාලනය කිරිම සදහායි. පිළිකා රෝගීන්ට රුපියල් ලක්ෂ 15 ක් දක්වා වූ ප්‍රතිකාර සීමාව මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් වූ පසු ඉවත් කළා. මේ වනවිට ජීවිතාන්තය දක්වා පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙනවා. ඒ සදහා 2017 වසරේ දී අපි වැය කර තිබෙනවා රුපියල් බිලියන 4.8 ක්. ජනතාව රෝගවලින් බේරා ගැනීම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ විය යුත්තේ.”


මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුර සමරසුන්දර, කළමණාකාර අධ්‍යක්ෂ එම්. සුන්දරලිංගම්, කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ යන මහත්වරු ඇතුලු වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.